Sunday, April 29, 2018

මංකොල්ලය

ජීවිතේ අඩ සිය වසකට අධික කාලයකුත් ගත උනායින් පස්සෙ, නිස්කාන්සුවේ ඉඳගෙන, මගේ ජීවිතයේ ගත වුනු කාලය ගැන හිතන කොට නම් මම ගැන මටම පුදුම හිතෙනවා. ඔය කාල සීමාවෙදී මම මුහුණ දුන්නු සිදුවීම් පොතකට එකතු කරොත් නම් ඒක ලෝකෙ තියෙන ලොකුම නවකතා පොතටත් වඩා තවත් ටිකක් ලොකු වේවි.
මේ කියන සිදු වීම වෙලා දැන් වසර බර ගණනක් ගෙවිලා ගිහින්. ඒත් එදා මම මුහුණ දුන්න මේ සිද්ධියෙන් ඉගෙන ගත්ත පාඩම නම් මගේ ජීවිතයට බොහෝ වැදගත් වුනා. මට තියෙන ලොකුම කණගාටුව මේ වගේ දේවල් වෙනවා කියලා නොදන්නා අමුත්තෙක් මට දුම්‍ රිය නිදන මැදිරියකදී කියලා දීලත් ඒක හරියට පිළිපදින්න බැරි වුන එක ගැනයි.
මේ කියන කාල වකවානුවේදී මගේ පුතාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අපි මහනුවර පදිංචි වෙලා හිටියේ. පාසැල් නිවාඩුවට තුන් දෙනාම ගම්පහ ගෙදටට එනවා. එහෙම ගම්පහට ඇවිල්ලා හිටපු එක නිවාඩු කාලයක හදිසි අවශ්‍යතාවයකට මහනුවර ගෙදරට යන්න වුනා.
ඊට පස්සේ ආපහු ගම්පහට එන්න පිටත් වෙන කොටත් රෑ 9.30 ට පමණ ඇති. නගරාන්තර නොවෙන පුද්ගලික බසයකටයි මම ගොඩ වුනේ. යක්කල හන්දියෙන් බැස්සහම එතැනින් ගම්පහට එන්න පුළුවන් වෙනවා උනත් ඒ ටික දුර එන එක බොහොම දුෂ්කර ක්‍රියාවක්. ඒ දවස්වල ත්‍රිරෝද රථ මංකොල්ල ගණනාවක් වෙලා තිබුණු හින්දා රාත්‍රියට ඒ අය දුර ගමන් යන එක ප්‍රතික්ෂේප කරන කාලයක්. ඒ නිසා කැළණිය දුම්රිය ස්ථානය ලඟින් බැහැලා අන්තිම දුම්රියේ ගම්පහට එන එක තමයි වඩාත් පහසු.
බස් රථය ගමන ආරම්භ කරා. අතරමගදී බසයට සෑහෙන මගීන් සංඛ්‍යාවක් ගොඩ වුණා. කෑගල්ල නගරයෙන් මගීන් හත් අට දෙනෙක් බසයට නැග්ගා. ඒ අය අතරින් වයස අවුරුදු 30 - 35 අතරේ පිරිමියෙක් මගේ ලඟ තිබුණු හිස් අසුනේ වාඩි උනා. ඔහුත් එක්කම තවත් කෙනෙක් ආවා කියලා මම දැන ගත්තේ ඔහු කොළඹට ප්‍රවේශ පත් දෙකක් අර ගත් නිසා.
වරකාපොල හරියෙදී පටන් ගත්ත වැස්ස කිරිබත්ගොඩ කිට්ටු වෙන කොට ධාරානිපාත වැස්සක් බවට පත්වෙලා. වෙලාවත් සෑහෙන්න ගත වෙලා. අන්තිම දුම්රිය මේ වෙනකොට ගම්පහටත් කිට්ටු කරලා ඇති.
ඒ නිසා කෙලින්ම පිටකොටුවට ආවා. උඩරට මාර්ගයේ පළමු දුම්රිය පාන්දර 3.30 ට ගමන් ආරම්භ කරනවනෙ. ඔය ටික වෙලාව ඔය පිටකොටුවෙම ගත කරන්න පුළුවන් කියලා හිත හදා ගත්තා.
මධ්‍යම රාත්‍රියට පිටකොටුවේ මැවෙන්නේ අමුතුම ලෝකයක්. මැජික් කාරයෝ, තෙල් බෙහෙත් වෙළෙන්දෝ, ඩුප්ලිකේට් ජෝතිලා, මිල්ටන්ලා එමටයි.හදන්නේ කොහෙද කියලා දන්නෙ නැති උනත් ගින්දර වගේ උණුවෙන් රසම රස සව් කැඳ වීදුරුවක, එවෙලේ බදින උණු රටකජු වල රසය විඳින්නත් පුළුවන්. රාත්‍රියටත් පිටකොටුව ජනාකීර්ණයි.
බස් එක පිටකොටුවට එනකොටත් වැස්ස අඩුවක් නැති නිසා බස් එක බැස්ටියන් මාවතේ බස්නැවතුම් පොලේම නැවැත්වුවා. ඔය වෙනකොට කෑගල්ලෙන් බස් එකට නැගලා මගේ ලඟින් ඉඳ ගත් හාදයා මගෙත් එක්ක කතාවට වැටිලා. බස් එකෙන් බැහැපුවාම එයාගේ යාලුවාත් එතැනට ආවා.මේ අය අල සහ රතුළූණු වෙළෙන්දන් බවත්, ව්‍යාපාරික අවශ්‍යතාවයකට අරණායකට ගිය බවත් ඔවුන් නැවතී සිටින්නේ ගුණසිංහපුර බෝඩිමක බවත් කිව්වා.
වැස්ස තවමත් වහිනවා. වෙලාවත් පාන්දර 1.30 ට පමණ ඇති. තේ කෝප්පයක උවමනාව හැමෝටම තදින් දැනුණා උනත් වැස්ස තවමත් යන්තමින් වහිනවා. අර දෙන්නාගෙන් එක් අයෙක් වැස්සේ තෙමීගෙනම ඉස්සරහින් තිබුණ හෝටලයකට ගිහින් වතුර බොන වීදුරුවකට දමලා කිරි තේ එකක් ගෙනාවා.
ඉස්සෙල්ලාම මට බොන්න කියා කිව්වත් අර නිදන මැදිරි මහත්තයාගේ ගෝරනාඩුව සිහියට ආවා. ඒ අයට පළමුව බීලා ඉතිරි ටික මට දෙන්න කිව්වා. අන්තිමේදී එයින් උගුරු දෙකක් මම බිව්වා. තොල් දෙක එකට ඇලෙන තරම් මහා ගොඩක් සීනි දමපු තේ එකක්.
ඊට පස්සේ මේ දෙන්නා මට කතා කරනවා ඒ අය ඉන්න කාමයයට ගිහිල්ලා උදේ පාන්දරට ආපහු යන්න කියලා. ඒ එක්කම මට දැනෙනවා මගේ කල්පනාවේ වෙනසක්. ඉස්සරහා හැම දෙයක්ම දෙකක් වෙලා. ලයිට් වලින් දේදුණු වර්ණ රටා මැවෙනවා.
ඔය අස්සෙන්ම මගේ සිහියට ආවා මේ අය මාව මංකොල්ල කන්න හිතාගෙන මොනවා හරි අර තේ එකත් එක්ක දුන්නා කියලා.
දැන් මට එතැනින් පැන ගන්න ඕනෑ. පිටකොටුව බෝ ගහ ලඟම තියෙන සාන්ත ස්නැක් බාර් එකේ අයිතිකරු මගේ හොඳම යහළුවෙක්. එතෙන්ට යනවා කියලා හිතේ තියාගෙන අර දෙන්නාගේ කාමරයට යමු කියලා ප්‍රධාන මාර්ගයට ආවා.
ඊට පස්සේ මගේ මතකය තියෙන්නේ කඩින් කඩ.
සාන්ත ස්නැක් බාර් එකේ කැෂියර් ඉලන්දාරියාගෙන් ෂොපින් කවරයක් ඉල්ලාගෙන ඔරලෝසුවයි,මුදල් පසුම්බියයි ඒකට දාලා ඔහුට දුන්නා මතකයි.
හැඳුණුම් පතයි රු.100/= කුයි උඩ සාක්කුවට දා ගත්තාත් මතකයි.
කොටුව දුම්‍ රිය පොලෙන් ගම්පහට එන්න ටිකට් එකක් ගත්තා මතකයි.
උදේ 6.30 ට මහනුවර බලා යන නගරාන්තර දුම්‍ රිය ගැන නිවේදනයක් කරනවා මතකයි.
උදේ 9.30ට විතර වනවාසල දුම් රිය ස්ථානයේ හිටියා මතකයි.
ඒ ළඟ තිබුණු කඩේකින් ලැවරියා එකක් කෑවා මතකයි.
කඩේ හිටපු මුදලාලි හාමිනේට කියලා ගෙදරට එන්න ත්‍රි රෝද රථයක් ගෙන්නවා ගත්තා මතකයි.
ගෙදරට ඇවිල්ලා ඒ ත්‍රි රෝද රථයට සල්ලි ගෙවන්න කියලා බිරින්දෑට කිව්වා මතකයි.
මාව බලන්න ලොකු අක්කයි,මස්සිනායි ආවාත් මතකයි.
සම්පත් බැංකුවේ e channeling සේවාවෙන් ස්නායු ශල්‍ය වෛද්‍යවරියක් වන රන්ජනී ගමගේ මහත්මියට  appointment එකක් ගත්තා මතකයි.
නවලෝක රෝහලේ කොරිඩෝව මතකයි.
රෝද පුටුවක තියාගෙන දිග කොරිඩෝවකින් ගිහිල්ලා MRI පරීක්ෂණයක් කරා මතකයි.
කඩින් කඩ මතකයක් විතරයි තියෙන්නේ.
ඔය අස්සෙන් දකුණු අතත් අකර්මණ්‍යයි.
හරියට සිහි කල්පනාව එන්න දවස් පහක් ගත වෙලා තිබුණා.
අත පණ නැතුව ගිහින් තියෙන්නේ බංකුවක නිදාගෙන ඉන්න වෙලාවේ අත තෙරපීමකට ලක් වෙලා. ඒ අතට භෞත චිකිත්සක අභ්‍යාස කරලා ලියන්න පුළුවන් වෙනකල් රෝහලෙන් ටිකට් කැපුවේ නම් නැහැ.
අර තේ එකේ මුල් කොටස බිව්ව දෙන්නටත් මේ වගේම සිහිය විකල් වෙන්නත් ඇති.
රෝහලෙන් ගෙදරට එන ගමන් අර පිටකොටුවේ කඩේට පරිස්සමට තියාපු දේවල් අරගත්තා. එතැන තිබුණු වටිනාම දේ මගේ අතේ තිබුණු ඔරලෝසුව පමණයි. ලොකු මුදලක් නම් තිබුණේ නැහැ.
කඩේ හිටපු අය කියනවා බාහිරින්වත් හැසිරීමෙන් වත් මගේ ලොකු වෙනසක් පෙනුණේ නැහැල්ලු.
මම ගෙදරට ආව ත්‍රිරෝද රියැදුරා එක්කත් හොඳට කතා කරමින් ආවලු.
නොකඩවා නිදා ගත් එකටලු ගෙදර අය බය වුණේ.
පහුවදා රෑ රෝහලට යනකොටත් මම හොඳට කතා කර කර ගියාලු.
අතරමග කඩේකින් වාහනය නවත්වාගෙන දුම් වැටි පැකට් එකකුත් ගත්තලු. ඒත් ඒවා එකක්වත් මගේ මතකයේ නැහැ.
පියවි සිහිය ආවයින් පස්සේ හිතට එන ගැටළු ගොඩයි . සිහිය විකල් කාලේ මම මොනවා කියෙව්වද දන්නෙත් නැහැනෙ.
සිහිය ආවයින් පස්සේ එකම බලාපොරොත්තුවයි තිබුණේ.
ඒ මගේ අතින්ම discharge card එකේ අත්සන් කරලා ගෙදර එන්න. ඒක නම් කොහොම හරි කර ගත්තා.
එහෙම නැති උනත් මාව discharge කරවන සිදු වීමකුත් උණා.
අපායට ගියත් අතහරින්නට බැරි පුරුදුත් තියෙනවනේ. පුරුදු උනාම දුම් වැටියක්, බුලත් විටක් නැතුවම බැහැ. වාට්ටුවේ ඕවා කරන්නත් බැහැනේ.
භෞත චිකිත්සක අභ්‍යාස කරන කාමටයට මම යන්නේ තනියම.
ඒ ගිහිල්ලා ආපහු එනකොට එලියට පැන ගන්න රෝගියෙක් ලඟ ඉන්න උපස්ථායකයෙකුගේ වෙස් ගත්තා.
කිසි අවුලක් නැහැ. පුංචි බොරැල්ල හන්දියෙම ඉන්න රංජි අය්යාගේ විට කඩේට ගිහිල්ලා උවමනාව ඉෂ්ඨ කරගෙන හොර පූසෙක් වගේ වාට්ටුවේ ඇඳට එනවා.
විශේෂඥ වෛද්‍යතුමිය වාට්ටුවට එන වෙලාවට සහපිරිවර රාශියක් ඒ පස්සෙන් එනවනේ. එදත් එහෙම ආව ඇටෙන්ඩන් මහත්තයෙක් මාව අර විට කඩේදී දැකලා තිබිලා. මෙයා ඒ බව මහා සද්දෙට රන්ජනී ගමගේ නෝනාට කිව්වේ මම ආනන්තර්‍යය පාප කර්මයක් කරලා එයා අතටම අල්ලා ගත්තා වගෙයි.
එතුමිය මගේ මූණ දිහා බැලුවා. මගේ මූණෙ ඇඳිච්ච හොර හිනාවට එයාටත් හිනාවක් ගියා.
ඇඳ ඉහපත් ගොනුව අතට අරන් ලියාගෙන ලියාගෙන ගියා.
"Discharged"

11 comments:

  1. ආප්ප බානවා වගේ පෝස්ට් දාන ස්පීඩ් එකේ හැටියට කොමෙන්ට් කොටන්න නං අමාරුයි ගොයියෝ. එත් ලියන අයට කොමෙන්ට් උත්තේජකයක් බව දන්න නිසා, යලට මහට හ්රි දාඤ්ඤං.

    හැම එකටම කමෙන්ට් නොකලාට , ඔක්කොම පොස්ට් කියෙව්වා.ඔහොම යං :)

    ReplyDelete
    Replies
    1. අම්ම ගහයි බැට් එකෙන් කිව්වලු, ඔයින් ගියා මදැයි.පේන විදිහට නං කොළඹ කාක්කො දෙන්නෙක් වගේ.

      ඉස්සර යනවා දෙවන හරස් වීදියේ
      කාක්කො ඉන්නව ගෑස්පහ හංදියේ
      දනුධර වුනාට ඉහත සංදියේ
      මං ... කාක්කොන්ට බයයි නංගියේ

      මේ කතා ඇහෙන කොට, මයෙ සිරි ලංකා රිටයමන්ට් හීනෙ ආං යනවා කුණු ඇලේ..

      ස්තූතියි මේ අත්දැකීම් අපිත් එක්ක බෙදාගන්නවට.

      Delete
  2. ඇයි අෆ්ෆා මෙච්චර හදිස්සියෙ ලියන්නෙ ?

    ඔබතුමාට තිබ්බෙ මිරිස්වත්තෙන් බැහැලා ගම්පහට එන්න. ඔය යක්කල පාර තාමත් මහ රෑට පාළුයි..... හිටියොත් ඉන්නෙ කට ඉබින්න ඉන්න සුදු පටි කාරයො විතරයි......

    ඇත්තටම එදා මොකද වෙන්ඩ ඇත්තෙ ? ඩොකාලා මුකුත් හේතුවක් කිව්වෙ නැද්ද ?

    ReplyDelete
  3. ඇත්තටම මොකද වුනේ????

    ReplyDelete
  4. මුල ඉඳල ඔක්කොම ටික කියෝගෙන ආව.

    //සිහිය විකල් කාලේ මම මොනවා කියෙව්වද දන්නෙත් නැහැනෙ// අම්මෝ... ඒකනං අති භයානක සිතුවිල්ලක් තමයි.

    ReplyDelete
  5. පට්ට ඈ... ෆේස්බුක් එකෙං කියවද්දි මට අනේක වාරයක් හිතුණ මේ මනුස්සය ඇයි බ්ලොග් එකක් ලියන්නැත්තෙ කියල. දිගටම කියවන්ඩ එන්නං. ෆේස්බුක් එකත් අමතක කරන්ඩ එපා.

    ReplyDelete
  6. පරණවාඩියේ කලඑළි බැහැපු කෙනෙක්ව එහෙම ලෙසියන් අමාරුවේ වැටෙන්න නැ මොන නගරාන් කාරයෙක් ඔට්ටු උනත්
    මොන කාලයේයි පරණවැඩිය පැත්තේ සැරිසැරුවේ අපිත් සමගින් සිටියිද කියා දැනගන්නත් එක්ක කිව්වානම්

    ReplyDelete
  7. අප්‍රිකන් කලු ජතික මිනිස්සු මිනිස්සුන්ගෙ ඇස් දිහා ටිකක් වෙලා බ්ලන් ඉන්නවා. ටික වෙලවකට් පස්සෙ නිකන් මොහනය වෙලා වගෙ අතෙ පයෙ තියෙන සබ්බ සකලමනවනම දෙනව අර කලු ජතිකයට​. ඩුබායි වල මෙ සිද්දිය ගොඩක් වෙලාවට සිද්ද වෙනව​. ඩුබායි පොලිසිය සන්චාරකයන්ට සිදුවන කරදර වලක්වන්න වෙනම සිවිල් ඇදුම් ඇඳ ගත්ත නිළඳාරින් යොදවලා ඉන්නව ජනාකීර්ණ ස්ථාන් වල​.

    ReplyDelete
  8. ඇත්තටම ඒකෙ මොනාද තිබ්බෙ.

    ReplyDelete