Saturday, July 21, 2018

දිරන්න දෙමුද , ගෙවෙන්න දෙමුද



අපි බොහෝ දෙනාගේ ගෙවල් වල මහන මැෂින් තියෙනවා.
අපේ ගෙදරත් මහන මැෂින් තුනක්ම තියෙනවා.

ඉන් එකක් මම බඳින්නත් කලින් බිරිඳගේ උපන් දිනේකදී එයාට තෑගි කරපු එකක්.
තවත් එකක් පසු කාලෙකදී අපිට තෑගි ලැබුණු එකක්.

අනිත් එක නම් ගොඩක් ම පරණ එකක්.
ඒක අපේ තාත්තා අම්මව බඳින්නත් කලින් තාත්තා අම්මට තෑගි කරපු එකක්.

මුලින්ම කිව්ව මහන මැෂින් දෙක නම් පාවිච්චි නොකරම දිරලා.

ඒත් අපේ අම්මා පාවිච්චි කරපු මහන මැෂින් එක නම් පාවිච්චි කරලා වැඩි වෙලාම ගෙවිලා ගිහිල්ලා.





අති නවීන පන්නයේ නොවුනත් ඒ පරණ මැෂින් එකෙන් එම්බ්‍රොයිඩර් කරපු කොට්ට උරයක්, මේස රෙද්දක් එහෙම තවමත් අම්මාගේ අල්මාරියේ තියෙනවා.

ඒ විතරක් නෙවෙයි.
කවදාහරි මැරුණු දිනයක අන්දවන්න කියලා මීට අවුරුදු විස්සකට විතර කලින් එයාම මහගත්ත ඇඳුමකුත් ඒ අල්මාරියේම තියෙනවා.

එක දිගටම අවුරුදු ගණනාවක්ම ඇඳුම් මහපුවාම ඒ මැෂින් එකේ කොයි තරම් කොටස් ගෙවිලා ගියාද ?
ඒත් අම්මා ඒ ගැන දුක් වෙන්නේ නැතුව විඩින් විඩේ අළුත්වැඩියා කර කර ඒකෙන් එක දිගටම ඇඳුම් මැහුවා.

අපි සෑහෙන්න ලොකු මහත් වෙනකල්ම අපේ ඇඳුම් ඔක්කොම මැහුවේ ඒ මැෂින් එකේ.
ඒ හින්දා අපිටත් අපේ ඇඳුමක් මහ ගන්න තරම් දැනුමක් ලැබුණා. පොඩි රෙදි කෑල්ලක්වත් අහක දාන්නේ නැතුව ඒවයිනුත් මොනවා හරි දෙයක් මහගන්නත් පුරුදු වුණා.

ඒත් අර අති නවීන මැෂින් දෙකම අහු මුළුවල දිරනවා.
එකක් ගබඩා කාමරේ කෑලි හැලෙනවා.
අනික කබඩ් එකක් ඇතුලේ ඔහේ තියෙනවා.
කාටවත් දෙන්නත් ලෝබයි.

එහෙම දෙන්න ඇහුවොත් කියන්නේ "ඕවා ඔහොම තියෙන්න අරින්නකො. ඕවා උස්සගෙන ඉන්නවයැ" කියලයි.
ඉතින් ඒවා ඔහේ දිරනවා.

අපි ලේන්සුවේ,කොට්ට උරේ ඉඳන් හැම එකක්ම නිමි ඇඳුම් හැටියට වැඩි මිළක් දීලා අරගන්නවා. එහෙම අරගෙන ආඬපාලිත් කියනවා. අත ලොකුයි, ඉණ හිරයි, බාජ්ජුවක් වගෙයි වගේ කතා ගොඩයි.

ඒත් ජීවිතේ විශේෂම අවස්ථා වලදී අඳින ඇඳුම නම් කඩෙන් ගන්නේ නැතුව මස්සවා ගන්නවා.
ඒකනේ අපේ නෝනලා සාරිය කඩෙන් ගත්තට ජැකට් එක වැඩි ගානක් දීලා හරි මස්සවා ගන්නේ.
එහෙම මහගත්තොත් තමයි ඇඳුමේ වගේම ඇඟේ පෙනුමත් හැඩට එන්නේ.

පිරිමි අපිත් කලිසම් කමිස රෙඩි මේඩ් වලින් ඇන්දට මගුල් සූට් එක නම් ටේලර් සාප්පුවකින් මස්සවා ගන්නවනේ.

ඉතින් ඒ වගේ හැඩට අඳින්නත් ටිකක් මහන්සි වෙන්න ඕනෑ.

හිතලා බැලුවොත් අපේ ජීවිතත් ඒ වගේම තමයි.

හරියට ප්‍රයෝජනයක් ගන්නේ නැත්නම් අර මැෂින් වගේ ඔහේ ගෙවෙනවා විතරමයි.

ටිකක් වෙහෙස මහන්සි වෙලා දුක් කරදර විඳලා ජීවිතේ ගොඩ දා ගන්නකොට සමහර සුව පහසුකම් අහිමි වෙනවා තමයි.

ඒත් ආපස්සට හැරිලා බලනකොට එහෙම අහිමි වුණු දේවල් වලට වඩා වැඩි යමක් අපි ජීවිතේට එකතු කරගෙන තියෙනවා කියලා සතුටු වෙන්න පුළුවන් වෙනවා.

ඒ ගැන හිතපුවාම ලැබෙන සතුට නම් අපිම දුක් මහන්සි වෙලා නිමා කරපු එම්බ්‍රොයිඩර් ගෙත්තමක් දිහා බලලා ලබන සතුටටත් වඩා ගොඩක් වැඩියි.

ඉතින් දැනටත් අපේ ජීවිත කාලෙන් වැඩි කාලයක් ගෙවිලා ඉවරයි. කොයි වෙලේ ආපහු යන්න වෙනවද කියලා අපි කාටවත් හිතා ගන්නවත් බැහැ.

ඉතින් ඒ ඉතුරු වෙලා තියෙන ටික කාලයත් අපේ ජීවිතය ඔහේ දිරන්න ඇරලා නිකන්ම ඉම්මු ද ?

එහෙම නැත්නම් පුළුවන් තරම් වැඩ කරලා ජීවිතය ගෙවෙන්න දීලා සතුටින් ඉම්මු ද ?

තීරණය ඔබේ අතේ.




Tuesday, May 22, 2018

දීගෙක යන නැගණියන්ට


සචිත්‍රා ඇගේ පෙම් සටන ජය ගත්තා.

සචිත්‍රා අරවින්ද එක්ක පෙම් සබඳතාවයක් පටන් ගත්තේ සරසවියට ඇතුල් වුනු පළමු වසරේදිමයි.

ඒ වෙනකොට අරවින්ද අවසාන වසරේ ඉගෙනුම ලබන්නේ. අහම්බෙකින් වගේ මේ දෙන්නා මුණ ගැසුනේ පොත් සැලක් ඇතුලෙදි.

ඒ හමුවීම ගොඩක් දුර දිග ගියා.

අරවින්ද පවුලේ එකම පුතා. මෙයාලගෙ තාත්තා අරවින්දවයි අම්මවයි දාලා මිය පරලොව ගියේ අරවින්ද පුංචි කාලෙදිමයි. එදා ඉඳලා අරවින්දව ලොකු මහත් කරන්න අරවින්දගෙ අම්මා ගොඩක් දුක් වින්දා.

රැයක් දවාලක් නැතුව ඇඳුම් මහලා, කෑම වර්ග හදලා කඩවල් වලට දාලා, එළවලු පාත්ති ටිකකුත් දමාගෙන ජීවිතේ ජයගන්න පුදුමාකාර ධෛර්යයෙන් අරවින්දගෙ අම්මා, විනීතා වැඩ කටයුතු කරා.

අරවින්දත් හරි හරියට අම්මා එක්ක ජීවිතය ජය ගන්න පොර බැදුවා.
විශ්ව විද්‍යාලයේදිවත් පෙම් සබඳකමක් ඇති කරගන්න අරවින්ද උනන්දු වුනේ නැත්තෙත් ඒකයි. අවසානෙදී සචිත්‍රා මුණ ගැහුනහම නම් අරවින්දගේ හිත වෙනස් වුනා.

සචිත්‍රා යමක් කමක් තියෙන පවුලක බොහොම සැපවත්ව හැදුණු තරුණියක්.ඇය විශ්ව විද්‍යාලයට ගියේ ඉගෙන ගෙන රස්සාවක් කරන්න එහෙම නෙවෙයි. ගෙදරට වෙලා ඉන්න කම්මැලි කමට.

මේ සම්බන්දෙට නම් දෙපැත්තෙන්ම විරුද්ධ කම් ඇති වුණා. මේ වෙනකොට අරවින්ද නම් පරිපාලන සේවයට ඇතුල් වෙලා ගමට කිට්ටුවම රජයේ ආයතනයක වැඩ කරනවා.
ඒ වුනත් පවුල් මට්ටම ගැලපෙන්නේ නැහැනෙ.

සචිත්‍රාගෙ පදිංචිය අගනුවරට ඉතා නුදුරු බත්තරමුල්ලේ. සචිත්‍රාට දෙන්න කියලා එයාගෙ තාත්තා නුගේගොඩ නගරාසන්නයෙන් අලුත්ම ගෙයක් හදලා ඉවරයි.

අරවින්ද ගම්පොලටත් එහා කොත්මලේ කිට්ටුව. අරවින්දට අම්මව තනියම දාලා අගනුවරට පදිංචියට යන්නත් බැහැ. සචිත්‍රාව කොත්මලේට එවන්න එයාගෙ දෙමවුපියෝ කැමතිත් නැහැ. ඒ කාරණා හින්දා මේ සම්බන්ධය අතහරින්න මේ දෙන්නම කැමතිත් නැහැ.

අවසානයේදී දෙපැත්තම යාන්තමට කැමති කර ගත්තා කොන්දේසි ගොඩකට යටත් වෙලා. සචිත්‍රා අරවින්දගේ ගෙදරට පදිංචියට යනවා. එහේ ඉන්න බැරි තත්වයක් ආවොත් දෙන්නම නුගේගොඩ පදිංචියට එනවා.එතකල් නුගේගොඩ නිවස බද්දට දෙනවා.

අරවින්දගෙ අම්මට නම් බයකට තිබුණේ සචිත්‍රාට මේ පරිසරයට පුරුදු වෙන්න බැරි ම වෙයි කියලා. නාගරික පහසුකම් එක්ක සැපට හැදුනු මලක් වගේ දරුවෙක්නෙ.

මෙහෙ ගෙවල් වල නම් නිතර දෙවේලෙ කට්ටිය ගැවසෙනවා. ගේ ඇතුලෙත් හැම තිස්සෙම ලමා ලපටි පිරිලා. චීත්තයක් මූට්ටු කරගන්න, හැට්ටයක් මහ ගන්න, දැරිවියකට ගවුමක් මහ ගන්න එන වත්තෙ ගැහැනුන්ගෙනුයි
ඒ අයගෙ ළමා ලපටින්ගෙනුයි අඩුවක් නම් නැහැ. ඇහිල්ලක් බැලිල්ලක් නැතුව නිදා ගන්න කාමර වලටත් එබෙනවා නොවැ.

කොහොමින් හරි මංගල්ලේ ජයටම කෙරුණා අගනුවර ලොකු හෝටලේක.
ඒ තාලෙට ගැලපෙන නෑදෑයො අරවින්දට නැති උනාට අරවින්දගෙ යාලුවන් නිසා ඒකෙ අඩුවක් දැනුනෙම නැහැ. සමදරාට නම් මගුල් ගෙදර වෙලෙත් හිතේ ගින්න. ලේලිගෙ කොළඹ මෝස්තර අපිට ගැලපෙන්නෙම නැහැ නොවැ.

දෙවෙනි ගමනෙ උත්සවේ යෙදිලා තිබුණේ ඉරිදා දවසක. ඊට කළින් දවසේ
අළුත් ජෝඩුව මහනුවර හෝටලයක නැවතුනා. පහුවදා උදෙන්ම මනමාලිව බොහොම අලංකාරෙට හැඩ කරේ සුචිත්‍රාගේ නෑදෑයො වෙන රමණී අක්කා.

මනමාලිව හැඩ කරන ගමන් රමණී සුචිත්‍රාට ඉස්සරහට ජීවත් වෙන්නේ කොහොමද කියලා සුචිත්‍රාට පාඩමක් කියලා දුන්නේ බොහොම සැහැල්ලුවෙන්.

"ඔයා දැන් අරවින්දගෙ අම්මගෙන් අරවින්දව උදුරාගෙන නේ තියෙන්නේ.
ඉතින් ඒ අම්මට හිතට දුකක් එයි ඔයා අරවින්ද එක්ක නිතර නිතර ඇලිලා ඉන්නවට. අරවින්ද එයාට තියෙන ආදරේ තව කෙනෙකුට බෙදිලා යනවා බලන්න කැමතිත් නැහැ නෙ.

"එතකොට තමා පහු කාලෙදි ගොඩක් ප්‍රශ්ණ ඇති වෙන්නේ. "

"ඒ හින්දා ඔයා ඒ දෙන්නගෙ තියෙන බැඳීම එක පාරටම කඩන්න යන්න එපා."

සුචිත්‍රා ඔළුව පාත් කරගෙන අහගෙන ඉන්නවා.

"ඒ ගෙදර පුරුදු වෙලා තියෙන විදිය ඔයා එක පාරටම වෙනස් කරන්න යන්නත් එපා."

"අරවින්ද උදේට ඇහැරුනාම තේ එක හදලා දෙන්නේ අම්මා නම්, ඒක එක පාරටම ඔයා කරන්න යන්න එපා."

"ඔයා උදෙන්ම ඇහැරිලා අරවින්ද ගෙ අම්මට "තේ හදන්න කුස්සියට යමු" කියලා කතා කරන්න. "

"ඊට පස්සෙ එයා තේ හදන විදිය බලා ගෙන ඉන්න. ඔය කෝප්ප ටික මැදලා දෙනවා, ලිපට ගින්දර ටිකක් දාලා දෙනවා වගේ සුළු වැඩ ටිකක් කරලා දෙන්න."

"ඒවාට ගන්න උපකරණ ටිකත් එයාගෙන්ම අහලා දැනගන්න. අරවින්දගේ අම්මා එයාට බොන්න හදා ගන්න හැටිත් හොඳට බලා ගන්න. "

"තේ හදලා ඉවර උනාම අරවින්දට තේ එක ගෙනියන්නේ කොයි විදියට ද
කියල ත් අහ ගන්න.
හැබැයි එයාටම ඒ තේ එක ගෙනියන්න කියලා කියන්න."

"තේ හදලා ඉවර උනාම ඒකට ගත්ත තේ ගොට්ට ඉඳන් ඒවා තිබුණු තැනින්ම තියන්න. සමහර වෙලාවට ඒවා තියලා තියෙන්නේ එයාගෙම පහසුවට නෙ.
ඒ පිළිවෙල ඔයාට කොයි තරම් කරදරයක් උනත් දවස් කීපයකින් ඔයාට කුස්සියේ විතරක් නෙවෙයි. මුළු ගෙදරම පූර්ණ බල තල නිසැකයෙන්ම ලැබෙනවා."

"ඔයා අරවින්දගෙ අම්මාට කීකරුයි කියලා දැන ගත්තහම ඒ අම්මා ඔයාටත් පූර්ණ නිදහස ලබලා දෙනවා."

"තව තව ගොඩක් දේවල් තියෙනවා කියන්ට.. ඒත් ඉස්සෙල්ලම තේ එකකින් මේ කතිකාව පටන් ගන්න එක හොඳයි නොවැ."

"අපේ නැන්දම්ම ගෙ පණ ගියෙත්
මෙන්න මේ අත් දෙක උඩ තමයි නගෝ."

"වෙන දරුවෝ හතර පස් දෙනෙක් හිටියත් මගේ නැන්දම්මට මාව නැතිවම බැරි වුනා."

"ඔයාගෙ කතාව නම් සහතික ඇත්තයි දුවේ " කියාගෙනම කාමරයට ඇතුල් වුනු සුචිත්‍රාගෙ තාත්තා, ආනන්ද මුදලාලි දිව්‍යාංගනාවක් වගේ හැඩ වෙලා ඉන්න තමන්ගෙ පුංචි සුරංගනාවි දිහා කඳුළු පුරවගෙන බලා ගෙන හිටියා.

ඒ කඳුළු පිරුනේ සතුටට ද , දුකට ද කියලා රමණිට වත්, සුචිත්‍රාට වත් හිතා ගන්න නම් බැරි වුනා.

Sunday, May 20, 2018

හත් දවසේ පින්කම



අද දවස පුරාම ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව සමග එක දිගට පිපිරී ගිය අකුණු නිසා හවස් වරුවේ සිතා මතා නිදාගත්තේ පාන්දර දුටු සිහිනයේ ඉතිරිය පෙනේවා යැයි සිතමිනි. සිහිනය පෙණිනි. එහෙත් එය පෙණුනේ බලාපොරොත්තු වූ ආකාරයෙන් නොවේ.

වාරණ මණ්ඩලයේ කතුරට හසු වූ වැඩිහිටියන්ට පමණක් පෙන්වීමට කිෂ්පාදනය කළ චිත්‍රපටයක් කපා කොටා අවසානයේ ළමාචිත්‍රපටයක් වූවා සේය. අවසාන කටයුතු සිදු කෙරුණු අවස්ථා සියල්ල කැපී ගොසිනි. හත් දවසේ පින්කමෙන් එය පටන් ගැණිනි.

සියළුම දෙනා කලබලයෙන් නොයෙකුත් වැඩ කටයුතු වල නියැලෙති. උත්සව භාණ්ඩ සපයන ආයතනයක සේවකයින් විසින් විශාල තහඩු ආවරණ දෙකක් සවි කරමින් සිටිති. ඒවා අති විශාලය. තහඩු නොපෙනෙන සේ වියන් යොදා ඇත. අල්ලපු ගමේ වෙසෙන ලයිට් දමින්ද ඔහුගේ ගෝලයින් දෙදෙනෙකු සමගින් විදුලිය සපයමින් සිටියි.

විශාල ප්‍රමාණයේ ෆ්ලෑෂර් හත අටක්ම සවි කර ඇත. තහඩු ආවරණ වලට විදුලි බුබුලු සවි කරන්නේ වියනෙහි ඇතුල් පැත්තෙනි. මාස තුනකින් විදුලි බිල නොගෙවීම නිසා රතු නිවේදනය ලැබී සතියක් ඉක්ම වී ගොසිනි. කොහොමටත් පසු ගිය දින වල අපගේ නිවසේ ඇති විදුලි බුබුළු, විදුලි උපකරණ ආදියද නොකඩවා පාවිච්චි කිරීම නිසා මේ වන විටත් විදුලි බිල රුපියල් දහ දොලොස් දාහක් වී ඇතිවාට සැක නැත.

ගොක් අතු ආරුක්කුවක් සෑදීම අත්‍යාවශ්‍ය බව ගමේ පොදු කටයුතු වලට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වන ධර්මෙ අයියා එක හෙලාම කී නිසා ගොක් අත්තක් කප්පවා ගැනීමට පොල් ගස් යන කෙනෙකු සෙවීමට ගම පුරා ඇවිද්ද ද ඒ සඳහා ගමේ ගස් නැගීමට සිටින හොර පොල් කැඩීමේ කප්පිත්තන් පස් දෙනාම එම ඉල්ලීම නොයෙකුත් හේතු කියා ප්‍රතිකේෂ්ප කළහ.

එසේ වුවද මාගේ අවමගුල පැවති සමයේ මගේ ඉඩමේ පහළට වන්නට ඇති සියළුම පැළ ගස් වල පොල් හොර රහසේ කඩා ගත් බව වඩාත් හොඳින් දැක්කේද මා පමණක් වන්නට ඇත. ගහේ අත්තක් හෝ නොසෙලවෙන්නට පොල් ගසට බඩ ගානා ඔවුහු පොල් වල්ල කපා කලවය උඩින් තියාගෙන ගසට නොදැනෙන්නට බැසීමට මනා හැකියාව ඇත්තවුන් ය.

අවසානයේ සිදු වූයේ ගම්පහ නගරයේ තිබෙන තොවිල් බඩු කඩයෙන් රුපියල් 800/=කට ගොක් අත්තක් මිළ දී ගැනීමටය. එතැන විකිණීමට නැති දෙයක් නොමැති තරම් ය. දෙහි ගැටයේ සිට පුහුල් ගෙඩිය දක්වා ගෙඩි වර්ග ද, කළාඳුරු අලයේ සිට කොඬොල් අලය දක්වා අල වර්ග ද, පාට තුනේ එළු පැටවුන් සහ තනි පාට කුකුළන් ද එම තොවිල් බඩු කඩ වලින් මිළ දී ගත හැකි අතර මල පෙරේතයන් සහ කුම්භාණ්ඩයන් නොමිලේ ම ලබා ගත හැක. මාතරින් කට්‍ටඬියන් සැපයීම සහ මැණික්හින්නෙන් වල්ලිලා සහ විල්ලියාලා සැපයීම ඔවුන් විසින් සිදු කරන අමතර සේවාවන් අතර වේ.

ගොක් අතු ආරුක්කුව පී වී සී බටයක ආධාරයෙන් ගේට්ටු කණුවල ඇටවූ ඔවුන් මා හට බණ ඇසීම සඳහා නිවසෙන් පිටත හතරැස් කොටුවක් වෙන් කර එය වටා ද ගොක් කොළ එල්ලා වෙන් කළ අතර එතැන සිටි පියසේන උපාසක තැන පැවසුවේ මිය ගිය අයගේ ආත්මය මළ පෙරේතයෙකු මෙන් එතැන ඉඳගෙන කෑමෙන් බීමෙන් සන්තර්පණය වී බණ අසා එම පිණ පාර්සල් කරගෙන වෙනත් ස්ථානයක ඉපදීම සඳහා නික්ම යන බවය.

කුස්සිය පැත්තේ එකම කළබලයකි. බණ ඇසීමට පැමිණෙන අයට තේ මේසයක් පිළිවෙළ කිරීමට සියළු දෙනා ලහි ලහියේ කටයුතු කරති. එක නෑනා කෙනෙකු ගෙනා පොල් කේක් තැටියද තවත් නෑනා කෙනෙකු ගෙනා බටර් කේක් තැටියද බැළලියගෙන් ආරක්ෂා කිරීම සඳහා එක නැන්දා කෙනෙකු පොල් අග්ගිස්සක් අතැතිව බලා සිරින්නේ සතුරු කඳවුරක් නිරීක්ෂණය කරන හමුදා සෙබලෙකු සිහි ගන්වමිනි.

බල්ලන් තිදෙනාම දම්වැල් දමා ගැට ගසා ඇත. පෙර වෛරයක් පිරිමැසීමට මෙන් ගෙදරට එන කාන්තාවන් තෝර තෝරා හපා කන බැල්ලිය බිම වැතිරී දත්මිටි කමින් බලා සිටියි. මහ පාන්දරක හෝටලයෙන් නික්ම යන කාන්තාවකට බුරා පැණීම නිසා කෝපයට පත් වූ ඉස්සරහා හෝටලය බලා ගන්නා හාදයා ගඩොල් බාගයකින් ගසා උගේ කකුල කැඩූ පසු ඌ සිතන්නේ අපගේ ගෙදරට එන සියළුම කාන්තාවන් හෝටලයේ සිට එන බව කියා වන්නට පුළුවන.

කිසිම දිනෙක පාවිච්චියට නොගත් පිඟන් කෝප්ප සහ වීදුරු බඩු වලට මෙදින වත් එළි පහළියට පැමිණීමේ අවස්ථාව අහිමි වී ගියේ අවශ්‍ය සියළුම බඩු භාණ්ඩ කේටරින් සමාගම මගින් ම සපයා ඇති බැවිනි. මළ ගෙදර වෙලාවේ ලැබුණු බිස්කට් පෙට්ටි සමග තිබූ එකම වේෆර්ස් බිස්කට් පෙට්ටිය සහ කස්ටඩ් ක්‍රීම් පෙට්ටි දෙක තෝරාගෙන පැමිණි තවත් නෑනා කෙනෙකු කීවේ ගෙනෙන්නන් වාලේ මාරි බිස්කට් පමණක්ම ගෙනෙන්නේ නැතිව චොකලට් බිස්කට් පෙට්ටියක් ගෙනාවා නම් අත කැඩෙනවාද යන්නයි.

ඇය අපේ ගෙදරට එන සෑම විටම අඩු තරමින් විස්සේ බිස්කට් පැකට් එකක්වත් නොගෙනෙන්නේ එසේ අත කැඩෙනවාට බිය නිසා විය හැකිය.

නිවසේ පසුපස වෙනම මඩුවක් ගසා ඇත. වෙනදාට මේ පැත්තට වැරදිලාවත් කොයන කාන්තාවන් සියල්ල පසු පස බරාඳයට වී සිටින්නේ මාගේ මරණයෙන් පසුව සිමෙන්ති බෙදීම නතර වී ඇති නිසා එතැන නවාතැන් ගෙන සිටි නාට්ටාමිලා දෙපල හීන් සීරුවේම මාරු වී කොළඹ ගබඩාවක සේවයට වාර්තා කර ඇති නිසාය.

රියැදුරන් දෙදෙනා නම් තවමත් රැඳී සිටින්නේ ඔවුන්ගේ මාසික පඩිය තවමත් නොගෙවූ නිසා විය යුතුය.
ඔවුන් දෙදෙනා කුස්සියේ සිටින කාන්තාවන්ට ව්හිළු සපයමින් , යාන්ත්‍රික හිරමණයකින් පොල් ගා දෙමින් සහ බත් සාස්පාන් සහ ව්‍යාංජන ඇතිලි ඔසවා දෙමින් තම පුරුෂ බල පරාක්‍රමය පෙන්වා දෙමින් සිටිති.

ක්‍රමක්‍රමයෙන් රෑ බෝ වූ අතර බණ කීමේ වේලාවද ලං වෙමින් තිබිණි.

සාලයේ කෙළවරක බණ කීම සඳහා ආසනයක් සකසා තිබූ අතර එම ආසනයට එලා තිබුණේ අම්මා සිල් ගැනීමට යන විට ඇඳගෙන ගිය සුදු රෙද්දකි. ඉදිරිපස මේසයට එළා තිබෙන්නේ මාගේ ප්‍රිය බිරිඳ ඇගේ ආච්චි අම්මාගේ අම්මා විසින් ගෙතුවා යැයි කියා නාග මාණික්‍යයක් ලෙසින් පරිස්සම් කර ගෙන සිටින ස්වකීය මවු පරපුරේ අභිමානය සංකේතවත් කරන මේස රෙද්දයි.

එය මත ටයිම්පීස් ඔරලෝසුවක් සහ අලංකාර කැටයමකින් යුක්ත වූ වතුර වීදුරුවකි. බණ කියන හාමුදුරුවරු ඇල් වතුර වළඳන්නේ නැති බව අමතක වී ඇති හැඩය. අනෙක් අතට ටයිම්පීස් ඔරලෝසු අවශ්‍යවන්නේ බණ කියන හාමුදුරුවන්ට නොව බණ අසන්නට ආරාධනා කරනා ඥාති මිත්‍රාදීන් හට කලට වේලාවට බණ අසන්නට ඒමට වේලාව මතක් කිරීම සඳහාය.

නැවත වරක් ඉදිරිපසට පාවී ආවෙමි. මුළු වත්තම විදුලි ආලෝකයෙන් ඒකාලෝක වී ඇත. අවශ්‍ය නම් දිවා රාත්‍රී ක්‍රිකට් තරඟයක් පැවැත්වීමටද පුළුවන.
සියළුම පුටු වලට සුදු පාටින් කවර දමා ඇත. විට වට්ටි කීපයක් එක පෙළට තබා ඇත්තේ බුලත් විටක් සපමින් බණ අසන විට නින්ද නොයන නිසා විය යුතුය. ගෙවල් ඇතුලේ බණ අසනා ස්ත්‍රී පාර්ශවය දෙව්දත්තෙර පණ පිටින් අවීචියට ඇද වැටුනු බව අසා සාදුකාර දෙන්නේද ඔවුන් හට නිවස තුල සිට බුලත් විට කෑමට පහසුකම් සලසා නැති නිසා වන්නට පුළුවන.

අමුත්තන් එකා දෙන්නා පැමිණෙන්නේ අවාරයට පොල් වැටෙනවාක් මෙනි. බිරිඳ සහ මාගේ සහෝදරිය ඉදිරිපසට වී පැමිණෙන අමුත්තන් පිළි ගනිති. ඔවුන්ට සහාය වන්නේ පුංචි අම්මාය.
සමීපතම ඥාතීන් සහ හිතවතුන් හැරුණු විට අන් කිසිවෙක් මාගේ බිරිඳ හඳුණන්නේ නැත. ඒ ඇය එලි පහලියට නොපැමිණෙන බැවිණි. ගම්වාසීන්ගේ බණ පින්කම් ආදියට මාවම තල්ලු කර යවන බැවින් ඇයට ඔවුන්ව හඳුණා ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේද නැත.

ඇයට තබා ගමේ වත්මන් පරම්පරාව මා හට හඳුණා ගැනීමට ද අසීරුය. ඒ ඔවුන් බණ ගෙදරකට එන විට ද නා නා ප්‍රකාර වත්සුනු ආලේප කර පැමිණෙන නිසාය.

පැමිණෙන සියල්ලම ගේ ඇතුලට ගොස් තේ මේසය ළඟින් වාඩි වී කැවිළි කා ඉඟුරු තේ බොති. වැඩිපුර නොකන්නේ බණ ඇසීමෙන් පසු බත් කෑමටද ඇති නිසාය. ඉන් අනතුරුව කාන්තාවන් ගේ ඇතුලේම රැඳෙන අතර පිරිමින් එළියේ පනවා ඇති ආසන වල ලැගුම් ගනිති. එසේ වුවද ජනේලයෙන් පිටත බැලූ කල බණ කියන හාමුදුරුවන්ගේ නෙත් මානයෙන් පිටතින් සිටීමට ඔවුන් වග බලා ගනිති.

වේලාව සවස හතට ආසන්නය. වැඩිහිටි පණ්ඩිතයින් දෙදෙනෙක් කලින් පිළියෙල කරන ලද පෙරේත කොටුව තුල ප්ලාස්ටික් පැදුරක් එලා එතැනින් කොට්ටයක්ද තබයි. කොට්ටය තොවිල් කඩයෙන් මිළ දී ගත්තකි. එහි පුළුන් නැත. පැරණි රෙදි පාංකඩ සහ අහක දමන ස්පොන්ජ් තීරු උපයෝගී කර ගනිමින් එය පුරවා ඇත. ඒ මදිවාට එය කීප වාරයක්ම තොවිල් බඩු කඩය, පෙරේත කොටු සහ පන්සල අතර දූත චාරිකා වල නියැලී ඇත. ඒ නිසා එම කොට්ටය පින් ගන්නට ආසාවෙන් සිටිනා මල පෙරේත පෙරේතියන්ගෙන් ඕවර්ලෝඩ් වී ඇත.

ගෙදර තිබෙන පැරණිම පිඟානකට කොත ගැසූ බත් පතක්ද කට පළුදු වී ගිය වීදුරුවකට වතුර එකක්ද කොටුව මැදින් තැබූ ඔවුන් එම කෑම එක කා වතුර වීදුරුව බී එම කොට්ටය උඩින් ඉඳගෙන බණ අසා අවසානයේ පින් ලබාගෙන වෙනත් ස්ථානයක උපදින සේ මාගෙන් ඉල්ලා සිටියහ.

මම රෑට බත් කන්නේ නැති බව ඔවුන් නොදන්නවා විය යුතුය. කොන්දේ අමාරුවක් සදී ඇති නිසා කිසි සේත්ම බිම හිඳ ගන්නේද නැත. මා විසින් දහඩිය මුගුරු හෙලා හරි හම්බ කර මුදලින් සාදා ගත් නිවස තුල සිටීමද, ගේ ඇතුලේ ඇති නා නා ප්‍රකාර පුටු වල හිඳ ගැනීමද මුන් දෙන්නා විසින් තහනම් කිරීමට යයි. මිය ගොස් සතියක් ගත වීමටද මත්තෙන් මාව මළ පෙරේතයෙකු ලෙස සලකා කටයුතු කරන්නේ කුමන එදිරිවාදු කමක් පිරිමැසීමටද යන්න මා හට වැටහෙන්නේද නැත.

ධර්ම දේශනාව සඳහා ස්වාමීන් වහන්සේ පැමිණ ඇත. බණ ඇසීම සඳහා දෙතුන් සියයක් පැමිණෙතැයි බලාපොරොත්තු වූවද මේ වන තෙක් විසි පහකට වඩා පැමිණ නැත. නියමිත වෙලාවටම ධර්ම දේශනය ආරම්භ කළ යුතු බවට ද ,රාත්‍රී අටහමාර වන විට කිලෝ මීටර් ගණනාවකට එපිටින් පැවැත්වෙන පිරිත් දේශනයකට සහභාගී විය යුතු ම බවට ද උන්වහන්සේ පවසයි.

කෙනෙකු මිය ගිය පසුව බණක් කියනු ලබන්නේ පැමිණෙන පිරිස ධර්මය ශ්‍රවණය කිරීමෙන් ලබා ගන්නා පින් මියගිය අයට අනුමෝදන් කර ඔහුව සුගතියක ඉපදවීමට බව බොහෝ දෙනෙකුට අමතක වී ඇත. බොහෝ දෙනෙකු බණ අවසන් වන මොහොතේ පැමිණ හොර පූසන් සේ වාඩි වන අයුරු අනන්තවත් දැක ඇති නිසා මෙතැන සිටීමෙන්ද කිසිදු පලක් නැත.

එබැවින් මද විරාමයක් ගැනීම සඳහා පිටව යාම මැනැවයි සිතූ සැනින් මාගේ කණ අසලින් කොකඩවාම කන් හිරි වට්ටන නලා ශබ්දයක්ද ඇසෙන්නට විය. නෙත් හැර බැලුවෙමි. මා තවමත් ඇඳ මතය. මදුරුවෙක් කණ අසල ගීත ගයයි. පොරවන රෙද්ද හිසද ආවරණය වන සේ දවටාගෙන අනෙක් පසට හැරුණෙමි. සිහිනයේ ඊළඟ කොටස කොයියම් වෙලාවක හෝ පෙනෙනවා ඇත.

මා මිය ගොස් නැත



කන් බිහිරිවන අන්දමේ විශල ශබ්දයක් සමගින් සියල්ල එක් වර අඳුරු විය. මාහට පාලනය කර ගත නොහැකි වේගයකින් ඉතා දීප්තිමත් ආලෝක ධාරාවක් ඔස්සේ මා ඇදී ගියා මතකය.
අවසානයේදී මට දක්නට ලැබුණේ වසා තිබෙන අති විශාල දොරටුවකි.

එය විවර කරගැනීමට මා උත්සාහ කරන අතරේ මා පිටුපසින් ප්‍රාදුර්භූත වූ උත්තුංග දේහධාරියෙක් විසින් මාගේ ගෙලින් අල්ලා වැරෙන් තල්ලු කරන ලද්දෙන් මා අන්ධකාර දෝනාවක් දිගේ නොකඩවා වැටෙන්නට විය. එක් වරම මා පතිත වූයේ මාගේ නිවසේ ගේට්ටුව අසලටය.

නිවස තුලද, ඉන් පිටතද දැඩි කලබලයකි. මාගේ ඥාතීන්ද, මිතුරන්ද, අසල්වාසීන්ද, නොදන්නා අයද එහි රැඳී සිටිති. සාලය මැද්දේ පෙට්ටියක සතපවන ලද පුද්ගලයෙකි. ඔහුගේ මුහුණෙහි හුරු පුරුදු බවක් දැනෙයි.
ඔහු මාගේම නිවුන් සහෝදරයෙකු වැන්න.

ඒ බව වඩාත් හොඳින් පරීක්ෂා කිරීමට ඔහුගේ මුහුණට එබී බැලුවෙමි.
මාගේ දකුණු ඇහි බැමේ තිබෙන කැපුම් සලකුණද එසේමය. මාගේ රැවුල් මෝස්තරයම තබා ඇත. යුරෝපීය ඇඳුම් කට්ටලය නිසා කඩවසම් පෙනුමක් ඇත. පැහැයෙන් පැහැපත් ය. අවසානයේ මා හට සිදුව ඇති දෙය අවබෝධ වන්නට විය. මා මිය ගොසිනි.

මාගේ මෘත දේහය සාලය මැද සතපවා ඇත.

බිරින්ඳෑ කොතැන සිටිනවා ඇතිදැයි සිතීමි. එසැනින් මා නිදන කාමරයේය. ඇය ඇඳුම් අල්මාරියේ දොර හැර සුදු ඇඳුම් තෝරන්නීය. ඇගේ සහායට ඥාති සොයුරියකි. ඇය දොර ජනෙල් රෙදි කන්දක් මදිමින් සිටියි. ඒ අතරවාරයේ ඇඳුම් තේරීම පිළිබඳවද උපදෙස් නිකුත් කරන්නීය.
"ඔයා උදේ වරුවට ඔය බ්ලව්ස් එකත් එක්ක මේ ඕෆ් වයිට් ස්කර්ට් එක අඳින්න. හවසට මේ අත් දිග බ්ලව්ස් එකයි, බ්ලැක් ස්කර්ට් එකයි හොඳයි.
හෙට උදේ වරුවට අපි බෞද්ධයා එකේ බණ අහන්න යන්න තිලකවර්ධනෙන් ගත්ත ෆ්‍රොක් එක හොඳයි. හෙට හවසට නම් සාරියක් අඳින්නම එපැයි"
ඒ සමගම මා හට පර චිත්ත විජානන ඥානය වැන්නක්ද පහල විය.

බිරින්දෑ මෙසේ සිතයි.
"හත් දවස ඉවර වෙනකල් ටී.වී.එක හයි කර ගන්න බැරි වෙයි. අපරාදෙ ටෙලි නාට්‍ය ටික. මෙගා ස්ටාර් ටිකයි, හින්දි චිත්‍රපටි දෙකයි ඔක්කොම මග ඇරෙනවා."

එතැනින් නික්මී කෑම කාමරය වෙත ගියෙමි. නෑනලා කීප දෙනෙක් බර කතාවකය.

"අපේ එක්කෙනා අද කොහොම කනවද දන්නෙ නැහැ. හැමදාමත් එයාට මං ම කවන්න එපායැ. කවදාවත් කුස්සියට ඇවිල්ලා වතුර වීදුරුවක් වත් බොන්නෙ නැහැ. ඒකත් මං ම ගෙනිහින් පොවන්න ඕනෑ."
ඒ නෑනාගේ ස්වාමියා තවමත් ඉන්නේ විදේශගතවය. මේ කියන්නේ වයස විසි ගණනක් වූ ඇගේ පුත්‍රයා ගැනය.

අනෙක් නෑනා ඊට දෙවෙනි වෙන්නට කැමති නැත.
"අපේ දෝණිත් ඔය වගේම තමයි. තවම හරියකට තේ එකක්වත් හදා ගන්නට දන්නෙ නැහැ. අනේ මන්දා මෙයාව කසාද බන්දලා ගෙදර තියා ගන්නවා ඇර වෙන කරන්න දෙයක් නම් ඇත්තෙම නැහැ. නැත්නම් නැන්දම්මලාගෙන් එක එක කතන්දර අහන්න වෙයි"

දෝණියැන්දෑ ඊයේ උදේ හෝටලයක සිට ඇගේ පෙම්වතාට තේ කෝප්පයක් සාදා පොවමින් හිටි අයුරු මා හට අතේ මාට්ටු වුණු බව ඇයට මම කෑ ගසා කිව්වද මා කියන කිසිවක් ඇයට නොඇසෙනවා විය හැක.

ඇගේ දියණිය තවත් ඥාති දියණියන් කීප දෙනෙකු සමගින් හිවසට පැමිණෙන අයට නෙස්කැෆේ ඇල්ලීමේ කාර්‍යය බාරගෙනය. එලිය පැත්තේ රවුමක් ගසා පැමිණෙන ඔවුන් තොල් ආලේපන ගල්වති. කොණ්ඩය හදති.

විටින් විට නිවසට අමුත්තන් පැමිණෙති. ගේට්ටුවෙන් ඇතුළු වන විටම ඔවුන්ගේ සිනහා මුහුණු අතුරුදහන් වී බැරෑරුම් සවරූපයක් ගනියි. ඔස්කාර් සම්මාන දිය යුත්තේ මොවුන්ටය. කිසිදු තිර රචනයක් නැතිවම රඟපාති.

සාලයේ කොණක වාඩි වී සිටි බිරින්දෑ නැගිට ඔවුන්ව දෑත් එක්කර අචාර කරනු පෙනෙයි. ඔවුන්ද පෙරලා ආචාර කරන්නේ ගොළුවන් සේය. අනතුරුව ඔවුන් එම ශෝක මුහුණින්ම ගොස් මාගේ මෘත දේහය දෙස බලා සිටිති.
මා හට ලැබී ඇති විශේෂ හැකියාව නිසා ඔවුන්ගේ සිතිවිළි මට දැනෙයි.

"මූට අවුරුදු පනස් හයක් වෙලත් එක රැවුල් ගහක්, කෙස් ගහක් ඉදිලා නැහැ.මළත් මූ ඉලන්දාරි පාටට ඉන්නවා"
"මූව මැරිලා ගිය එකමයි කාරිය. මූ හැමතිස්සෙම තනියෙන්ම හිටියා ඇරෙන්න මට අරක්කු ටිකක්වත් බොන්න අඬගහලා නැහැ"

අපේ පරම්පරාවට කෙස් පැහෙන්නේ නැති ජානයක් තිබෙන බවටත්, හැම දෙනාගෙන්ම පිං අඩි බලාපොරොත්තුව ඉන්න එකාව දුටු සැනින් මම ද හිතාමතාම මූව නොදැක්කා සේ ගිය බවත් මුං දෙන්නාට කියන්න ඕනෑ නැත.

නිවසින් ටිකක් ඈතට වෙන්නට සෑහෙන පිරිසක් වාඩි වී සිටිනු පෙනෙයි.
සමහරු ඕමි ගසති. තවත් සමහරු කැරම් ක්‍රීඩාවේ යෙදෙති. ඒ සියල්ලෝම හැබෑ දක්ෂයෝය. අපේ ජාතික ක්‍රීඩාව කළ යුතුව තිබුණේ ඕමි ඇල්ලීම හෝ කැරම් ක්‍රීඩාවය.

තවත් ඈතට වෙන්නට ගසක් යට දහ පාළොස් දෙනෙක් වට වී බූරුවා ගසති. නිදහසේ බූරුවා ගැසීමට මළ ගෙවල් වල ඇති නිදහස වෙන කොතැනකවත් නැත. කෑම, බීම, තේ, බිස්කට්, සැන්විච්, මාළු පාන් ,සීනි බනිස්, කෝපි ආදිය නොකඩවා සැපයේ.විදුලි ආලෝකය මධ්‍යයේ ඔවුන් ඉතාමත් උද්‍යෝගිමත් ව ක්‍රීඩාවේ නියැලෙති.

වත්තෙන් පිටත නවතා ඇති මෝටර් රථ කීපයක් ආසන්නයේ තුන් හතර දෙනා වටවී රහසිගත මෙහෙයුම් වල යෙදෙති.
ඒවා ජංගම මත්පැන් හල් වැනිය. රාත්‍රී කෑම සූදානම් කර ඇති ස්ථානයේ සිටින පුද්ගලයෙක් විටින් විට ඔවුන් හට කටගැස්මවල් සපයනු පෙනෙයි. පපඩම්, සලාද සහ මාළු කැබලි විටින් විට එම මෝටර් රථ වෙත ඇදී යයි.

මීට අමතරව රස කතා රාශියක් ඔවුන් විසින් වමාරයි.

අතීතයේදී මත් පැන් පානය කර වාහන පදවා පොලීසියෙන් ගැලවුනු අයුරුද, මරණ ගෙවල් වලට සහභාගි වීමට බොහෝ දුර බැහැර පළාත් වලට ගිය අයුරුද වර්ණනාත්මකව කියැවෙයි.

තවත් තැනෙක පුංචි පාර්ලිමේන්තුවකි.
දවසේ මාතෘකාව ප්‍රභාකරන්ට මහත්මයා කීමය. අවස්තා ගණනාවකදීම එවන් අය බලයට පත් කරන්නට ඡන්දය පාවිච්චි කරේත් ඔවුන්ම බව අමතක වී ඇති හැඩය.

ගම්වාසී ගොවියන් කීපදෙනෙක් එක් වී තවත් කතාවකි. පැල මැක්කන්ට බෙහෙත් ගැසීමද, යූරියා හිඟයද, ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමද ඒ කතාබහ අතර වෙයි.

සිමෙන්ති සමාගමක අලෙවි නියෝජිතයන් කීපදෙනෙකු සහ අලෙවි කළමණාකරුවන් එක් වී තවත් තැනකය. මාසික අලෙවිය වැඩි කිරීම, ටාගට්, ණය අය කර ගැණීම පිළිබඳව ඔවුන් කතාවෙති.

තවත් නෑදෑයින් සමූහයක් පුටු රවුමක් හදාගෙන සතුටු සාමිචියේ යෙදෙති. ඔවුන් අවසාන වරට හමු වූයේ මීට අවුරුදු පහකට පමණ පෙර තිබූ අවමංගල්‍ය අවස්ථාවකදී බව මට නම් හොඳින් මතකය. ඔවුන් මගුලට සහ මරණයට පමණක් එන පිරිසකි. එසේ පැමිණි විට කුමක් හෝ අස් කොණක් අල්ලාගෙන නැවතත් පැත්ත පලාතේ නොපැමිණෙන ඔවුන් නැවත පැමිණෙන්නේ ඊළඟ මරණ ගෙදරට හෝ මගුල් ගෙදරට පමණකි.

කෑම සූදානම් කර ඇති ස්ථානයේ නොමැත්තේ කිරි පැණි, අයිස් ක්‍රීම් සහ වටලප්පන් පමණය. රතු සහ සුදු ඉඳි ආප්ප, පාන්, සුදු බත් සහ රතු බත්, නූඩ්ල්ස් ආදියද, සෑම කෑමකම අනිවාර්‍ය ආහාර වන බෝංචි, පරිප්පු, සලාද, අල කරිය, මිරිසට පිසූ මාළු , ගෝවා කොළ තෙල් දැමිම සහ ගොටුකොළ සම්බෝල ඒ අතර වේ. කේටරින් සමාගමේ කාන්තාවක් කෑම බෙදා ගන්නා අයට මාළු කෑල්ල බැගින් බෙදා දෙන්නේ මාළු කෑලි දෙකක් කෑවොත් ඔවුන්ට අධි පෝෂණය හැදෙන නිසා විය යුතුය.

පුත්‍රයා පෙනෙන්නට නැත. එබැවින් ඔහුගේ කාමරය තුලට ඇදී ගියෙමි. ඔහු සිය ඇඳ මත චෙක් පත් කීපයක්, මුදල් නෝට්ටු කීපයක් හා කැල්කියුලේටරයක් ලඟ තබාගෙන බරපතල කල්පනාවක නිමග්න වෙමින් සිටියි. මා පමණක් නොව පවුලේ සියළුම දෙනා මිය ගියත් බැංකුවට උදෑසන 10 ට පෙර මුදල් දමා තිබිය යුතුය. නැතිනම් අපගේ සැපයුම් කාර සමාගමේ නිළධාරීන් සවස දෙක පණින විට ඉස්තෝප්පුවේ වාඩි වී සිටිනු ඇත. ඔවුන්ගෙන් බේරී මාගේ මිණිය වැලලීමට හෝ නොහැකි බව දන්නේ අපි තුන්දෙනා සහ ගෙදර ඉන්නා බල්ලන් පමණකි.

නැවතත් සාලයට ඇදී ආවෙමි.
සාලයේ කිසිවෙකු නැත. මිනී පෙට්ටිය පාමුල අපගේ නිවසේ ඇති කරන බැල්ලියන් දෙදෙනා, බල්ලා සහ බැළලිය පමණක් ශෝකාකූලව වැතිර සිටියි.
හිස අද්දර දල්වා ඇති පොල්තෙල් පහණ මළානික ආලෝකයක් විහිදුවයි.

ආත්මානුකම්පාව ම හද දවාලයි. කළකිරීම දෙගුණ තෙගුණ වෙයි.
නැවත නොඉපදී සිටිය යුතුමය.

කන් බිහිරි කරවන අකුණක ශබ්දයක් ඇසේ. ධාරානිපාත වැස්සක හඬ අවට පැතිරී යයි. අසීරුවෙන් නෙත් හැර බලමි. මා මිය ගොස් නැත. පාන්දර යාමයේ සිහිනයක් පමණක් දැක ඇත.

Wednesday, May 2, 2018

දෙව්ලොව තොරතුරු 😂😂


හායි... හව් ආ යූ මිස්ටර් පීරිස්....? වෙල්කම් බැක් ටු අවර් ක්ල්බ්...
දුම්වැටියක් මුව'ග රඳවා ගත් ෆුල් සූට් හැඳි කඩවසම් දේහධාරියා සිය සුරත දිගුකරමින් ආලින්දයේදීම ලෙස්ටර් පිලිගත්තේය.
"ඕහ් මයි ගෝඩ්..!!.
මිස්ටර් ෆොන්සේකා... !
තමුසෙ නම් තාම හැදිලා නෑ. සිගරට් එක කටේමයි..." 
සිනාමුසු මුහුණින් ගාමීණිගේ වැරදි චර්යාව විවේචනය කරමින්ම ලෙස්ටර් ඔහුව බදා සිප වැළඳ ගත්තේය.
ආලින්දයේ කෙළවරක යමක් කුරුටුගාමින් සිටි ප්‍රේම් හිස යන්තමින් ඔසවා බැලුවේය.
"ලෙස්ටර් මහත්තයා ඇවිත්..."
තමාටම කියා ගනිමින් කරමින් සිටි කාර්යය පසෙකලා පුටුවෙන් නැගී සිටි ප්‍රේ්ම් සුපුරුදු සිනහවෙන්ම ලෙස්ටර් සමීපයට පැමිණියේ දෑතම දිගු කරමින්ය.
අජන්තාට මේ කිසිවක වගක්වත් නැත. ගැඹුරු කල්පනාවක නිමග්නව සිටින ඔහුට බාධා කරන්නට කිසිවෙකු හෝ ඉක්මන් නොවීය.
"අලුත් සින්දුවක් ලියනවා. කොන්සර්ට් එක⁣ට. පස්සෙ කතා කරමු. "
ලෙස්ටර් ඒ දෙස බලනු දුටු ප්‍රේම් පිලිවදන් දුනි.
"කෝ අමරේ... ? "
හුරුපුරුදු වීණා හඬින් කුල්මත්ව ලෙස්ටර් විමසීය...
"මාස්ටර්..!..මාස්ටර්..!. "
සේකරගේ හඬ උස්ව නැගිනි.
ප්‍රතිචාරයක් නොවීය.
"ඉන්න මම ගිහින් බලන්නම්"
විජය නැගී සිටියේය.
"ඔය එන්නේ දෙන්නම..."
හුන් තැනම ඉඳිමින් විජය පැවසීය.
මිටි හීන්දෑරි අයෙකු සමඟින් මිටි තරමක් තරබාරු අයෙක් ආලින්දය දෙසට පියවර තබනු දු⁣ටු වනම ලෙස්ටර් ප්‍රීතියෙන් ඔකඳ විය.
"කේමදාස...!!
යූ ඕල්සෝ හියර් නොහ්... මොකද දෙන්නත්  එක්ක..?."
"අපිට ඉතිං කොතැනත් වැඩ නේ..."
කේමදාස මාස්ටර් සෙමින් පැවසීය...
කොන්සර්ට් එකකට රිහසල් කරනවා. එතැන ඉඳලා ආවේ...
කොහොමද ඉතිං...?
අමරදේවයන් විමසීය.
"මම පරක්කු වැඩිද මන්දා...?"

"නෝ නෝ නොට් ඇට් ඕල්..." 
ගාමිණී ලෙස්ටර්ට පිලිතුරු දුනි.
"ඕ මයි ගෝඩ් !!
අවුරුදු දහයකට විතර පස්සේ නේද අපි මුණ ගැහුණේ..?"
බීම ට්‍රොලිය තල්ලු කරගෙන පැමිණි ශේෂාගෙන් විමසමින් ලෙස්ටර් වයින් වීදුරු වීදුරුවක් අතට ගත්තේය.
"සුමිත්‍රා නැති නිසා ලෙස්ටර් වීරයා වෙලා..."සේකර විහිලු කළේය.
"කෝ සරත්චන්ද්‍ර එතකොට ...?"
"විජය නන්දසිරියි, මර්සියි එක්ක ස්ටේජ් ඩ්‍රාමා එකක් අරන් තුසිතයට ගිහින්" ලෙස්ටර්ට පිලිතුරු දුන්නේ ප්‍රේම්ය.
"අමරදේව අසපුව හදලා ඉවරද ලෙස්ටර්...?"
බලාපොරොත්තු රැඳි දෑසින් අමරදේව විමසීය..
"මොන පිස්සුද ?
ඒවා කෙරෙන වැඩ නෙවෙයි අමරේ."
"මුන් මගේ මරණෙත් විකුණගෙන කාලා අන්තිමට ආයෙත් බොරු කළා එහෙනම්... "
අම⁣රදේවගේ හඬ බිඳී ගොස්ය.
"ගණන් ගන්න එපා මචං අමරේ !
මටත් කොච්චර පොරොන්දු දුන්නද පරණ රීල් ටික පරිස්සම් කරගන්න විදිහක් හදලා දෙනවා කියලා.
කෝ ?  රීල් ටික විනාශවෙලා ගියා අන්තිමට මමත් මැරුණා. උන් කියපුවා කෙරුණෙත් නෑ. ඒවා කෙරෙන්නෙත් නෑ."
ලෙස්ටර් අමරදේවගේ හිත හැදුවේය.
"ඕවා අමතක වෙන්නත් එක්ක අපි යමු කොන්සර්ට් එක පැත්තට…  දැන් ඒක පටන් ගන්න වෙලාව හරි."

මාතෘකාව තරමක් සංකීර්ණ වනු දැක කේමදාස සියල්ලන්ගේ සිත වෙනත් පැත්තකට යොමු කිරීමට උත්සාහ ගත්තේය.
"ඕ කේ... ඕ කේ...
ෂැල් වී ගෝ දෙයාර්..."
එලෙස කියමින් නැගී සිටී ලෙස්ටර්
රංග ශාලාව පැත්තට පියවර තැබීය.
ජෝති, මිල්ටන්, ක්ලැරන්ස්, මාලනී, සුනිල් ශාන්ත , කපුගේ, ෂෙල්ටන් හැමෝම එහි වෙත්..
⁣කොන්සර්ට් එක ලෙස්ටර් පිලිගැනීමේ සාදයක් වී ඇත.
ප්‍රසංගයේ අදියුරු ටයිටස් තොටවත්තයන්ය.
නර්තන වින්‍යාසය පණිභාරතගෙනි.
එතැන එකම රසෝඝයකි.

( දිව්‍යලෝකේදී !!! )

(උපුටාගත්තකි)

හිතන්නට යමක්


අපිට එදිනෙදා කටයුතු වලදි මතු වෙන ලොකුම ගැටළුවක් තමයි සේවක හිගය. පුවත් පතක රැකියා ඇබෑර්තු වලින් වැඩි කොටසක් තියෙන්නේ කම්කරු ඇබෑර්තුයි. රිය සහායකයින්, වේටර් වරුන්, ඉදි කිරීම් අත් උදවු කරුවන්, වතු කම්කරුවන් ආදී රැකියා වලට තිබෙන ඇබෑර්තු වලින් පුවත් පත් පිරිලා.එක් පුවත් පතක් අරගෙන ඇබෑර්තු සංඛ්‍යාව එකතු කරලා බැලුවොත් රැකියා අවස්ථා දහස් ගනනක් තියෙනවා.
ඒත් ඒ තරන්ම සේවක හිගයක් තියෙන්නෙ ඇයි කියලා අපි හිතන්නේ නෑ නේද ?
විරැකියාවෙන් පෙළෙන, ඒ රැකියා කරන්නට හැකි කොටස් ඕන තරම් මේ රටේ ඉන්නවා. ඒත් ඇබෑර්තු ත් තියෙනවා. යම් තරමකට හරි උගත් කමක් තියෙන අය මොනවා හෝ සැහැල්ලු රැකියාවක් සොයා ගන්නවා. සමහරු ස්වයං රැකියා කරනවා. ඒ උනාට මම මුලින් කී රැකියාවල් වලට තියෙන ඇබෑර්තු නම් අඩුවකුත් නෑ.
කවුරුන් හෝ කුමන මතවාද ගෙනාවත් වතුකරයේ ඉන්න ද්‍රවිඩ ජනතාව මේ ගැටළුවට සෑහෙන පිළියමක් කරලා දෙනවා. ඕනෑම වැඩ බිමකට ගියෝතින් ද්‍රවිඩ ජාතික කම්කරුවන් අඩුම තරමින් එක් අයෙකුවත් දැකගන්න පුළුවන්.
අපි බොහෝ දෙනෙක් නොසිතන තවත් කම්කරුවන් කොටසක් ඉන්නවා.
ඒ හෙරොයින් වලට ඇබ්බැහි වූවන්. අපේ භාෂාවෙන් කියනවා නම් කුඩු කාරයින්.නැත්නම් කුඩ්ඩන්. මේ හාදයින් නැත්නම් සමහර වෘත්තීන් වලට සේවකයින් නොමැති තරම්.
සමහර ආයතන වල මේ අයව සේවයට ගන්නවා විතරක් නෙවේ. ඔවුන්ට මත්ද්‍රව්‍ය සපයන්න සේවකයෙක්වත් පත් කරලා තියෙනවා.එහෙමත් නැත්නම් මත් ද්‍රව්‍ය සපයන පුද්ගලයෙක්ගේ සේවය ලබා ගන්නවා.
දුරකථනයකට විටින් විට රී ලෝඩ් කරනවා වාගේ මොවුන්ටත් සෑම විටම රී ලෝඩ් කළ යුතුයි. මත් ද්‍රව්‍ය ගත් විගස ප්‍රබෝධමත් වන මොවුන් සමග හරි හරියට වැඩ කරන්න සාමාන්‍ය නිරෝගී  පුද්ගලයින්ටත් අමාරුයි. ඒ තරම් අධි වේගයකින් වැඩ. පැයක් හමාරක් යනකොට අර කික් එක බැහැලා. නිවීගෙන යන පහන් සිලක් වගේ මලානිකයි. එතකොට නැවතත් මත් ද්‍රව්‍ය උවමනා වෙනවා.
දවස අවසානයේදී මොවුන් උපයා ගත් මුදල මත් ද්‍රව්‍ය වලටම වියදම් කර හමාරයි. හිස් අතින් ගෙදර යනවා ඇරෙන්නට වෙනත් විකල්පයක් නැහැ. හදිසි වැටලීමක් වෙලා මත් ද්‍රව්‍ය නොමැති වුවහොත් ඔවුන් විතරක් නෙවේ. ඔවුන්ගේ සේවය ලබා ගන්නා ආයතන වලත් වැඩ නතර වෙනවා. ඔවුන්ගේ ජීවිත කාලයත් කෙටියි නේ.
මේ අවස්ථා වලදී අනෙක් කම්කරුවන් ඔවුන්ගේ අගය පෙන්නන්න පටන් ගන්නවා. ඉතින් අධික මිළක් ගෙවලා ඔවුන්ගෙන් ඒ සේවය ලබා ගන්නවා හැරෙන්නට වෙන කළ යුත්තක් නැති වෙනවා. හැබැයි ඒ මිළත් අවසානයේදී දරන්නේත් ඔබ අපම තමයි.

මටත් ඔය වගේම ගැටළුවකට පෙරේදා මුහුණ දෙන්නට උනා. මගේ ළග සේවය කරන හොදම සේවකයා සති හතරක පමණ කාලයකට පෙර වූ අනතුරකින් ඔත්පල වෙලා. ඔහුත් දමිළ ජාතිකයෙක්. තවෙකෙක් බීමත් කම නිසා යන්න ගිහින්. තවෙකෙකුට මංගල උත්සවයක්. තාවකාලිකව එන යන අයටත් එක එක රාජකාරි.
පොරොන්දු වෙලාවට නොපැමිණි භාණ්ඩ තොගය බා ගන්නට කිසිවෙක් නැහැ. ඒ නිසා භාණ්ඩ සපයන ආයතනයෙන් ලොකු දෝෂාරෝපනයක්. මගේ ගැනුම් කරුවන්ගෙනුත් පැමිණිලි කෙළවරක් නැතුව ලැබෙනවා..ඒ තැන් වල සේවකයින් තිහ හතලිහකටත් වැඩ නැහැ අමුද්‍රව්‍ය නැතුව.
බිල් පතෙන් බිල් පතට එන මුදල එකතු කර ගන්න විදියක් නැතුව තවත් ගැටළුවක්. ඉතින් මගේ මුළු දවසම පාහේ ගත කරන්නට සිදු උනේ කම්කරුවන් හොයන්නටයි.
අවසානයේදී මටත් සිදු වුනේ අගනුවරට ආසන්න නගරයකින් මත් ලෝලීන් දෙන්නෙකුගේ පිහිට පතන්නයි.
ඔවුන් මත් ද්‍රව්‍ය ගෙන්නවාගෙන, ඒවා පාවිච්චි කරලා වැඩ කරන්නට ඒමට සූදානම් වෙන්නටම පැය ගණනාවක් ගත කළා. වෙනදාට මගේ සේවකයින් පැය තුනකින් නිම කරන වැඩ කොටස කරන්නට පැය අටක් තුලදීත් නොහැකි උනා. ඒ මත් ද්‍රව්‍ය රී ලෝඩ් කරන්නට අපේ ගමේ පහසුකම් නොමැති නිසා.
අවසානයේදී ප්‍රමාද ගාස්තුවකුත් ගෙවන්නට උනා. දෝෂාරෝපණ රාශියයි. පාඩු ගොඩයි.
මේ රස්තියාදු උන කාලය ගත කළේ මුහුණු පොතේ ඉහළ පහළ යන්නයි.
මේවා ගැන උගතුන්, බුද්ධිමතුන් විවිධ කරුණු දක්වමින් එකිනෙකාට දෝෂාරෝපණය කර ගන්නවා. ඒවා දකින විට නම් අපි ගැනම කණගාටුවක් ඇති වෙනවා.
රටක හරි හමන් ශ්‍රම බලකායක් හදන්න ඒ කාගේවත් උවමනාවක් නැහැ. මේ ගැටළුවට යම් තරමකට හෝ පිහිටක් වෙන්න ගෙනාව එට්කා ගිවිසුමත් ගර්භාෂය තුලදීම මරා දැම්මා. මේ තත්වය තවත් ඉදිරියට ගෙන ගියොත් මිනිස්සුන්ට කන්නට පොළොවේ පස් ටිකක් වත් ඉතුරු වෙන්නේ නම් නැති බව ස්ථිරයි.
සුළු ජාතීන් කියා, උගත් නැහැ කියා, කුඩු කාරයින් කියා ඔබලා නොසලකා හරින රටේ ශ්‍රම බලකායට අයිති අයගේ තිබෙන අපිට නොපෙනෙන බලය මේකයි.
නොබෝ දිනකදී කම්කරුවෙකුගේ දෛනික වැටුප ඉලක්කම් පහක් හයක් වෙන්නත් පුළුවන් කියන එකත් , ඒ මිළ වක්‍රාකාරව අපිටම ගෙවන්න සිදුවෙන බවත් අමතක කරන්නට නම් එපා.

ආගිය ගමන්

කොළඹ කොටුවෙන් මහනුවර සහ බදුල්ල බලා පිටත්වෙන දුම්රිය උඩරට මාර්ගයේ ධාවනය වෙන උපරිම තදබදයක් තියෙන දුම්රිය වෙන්න ඕනෑ.
සාමාන්‍යයෙන් අනෙකුත් මාර්ග වල ධාවනය වන දුම්රිය මැදිරි වලට වඩා උඩරට මාර්ගයේ ධාවනය වන දුම්රිය වල මැදිරි දිගින් අඩුයි. ඒ නිසා අඩු මගීන් සංඛාවකට තමයි යන්නට පුළුවන්.
මේ දුම්‍ රියේ මගීන් ගෙනියන සාමාන්‍ය මැදිරිත් අඩුයි. තැපැල් මැදිරි දෙකයි. නියාමක මැදිරි දෙකයි. පළමු පන්තියේ නිදන මැදිරියයි. දෙවන පන්තියේ නිදන මැදිරියයි. තුන්වැනි පන්තියේ සාමාන්‍ය මැදිරි දෙකයි.
ඒ නිසාම මේ දුම්රිය අතුරු සිදුරු නැතුව මගීන්ගෙන් පිරෙනවා. මෙ දුම්රිය කෙලින්ම යන්නේ මහනුවරට. ඊට පස්සෙ එක තැපැල් මැදිරියක් ගැලවෙනවා.ඇන්ජිම අනිත් පැත්තට සවි කරනවා. ඊට පස්සේ ඉස්සරහා බලාගෙන ඉඳගෙන ආව අය පස්ස බලාගෙනයි යන්නේ. පේරාදෙණිය හන්දියෙන් ගම්පොල පැත්තට දුම්රිය ධාවනය වෙනවා.
මේ කියන වකවානුවේ උතුරේ යුද්ධය බොහොම දරුණුවට යන කාලේ. දුම්රියට නගින්න කලින් හමුදා සාමාජිකයින්ට ගමන් මළු පෙන්වන්නත් වෙනවා. ඒ නිසා ආසනයක් අල්ලා ගන්න එකත් මහම මහ යුද්ධයක්.
එදා මම නානුඔයට යන්න ගියේ මිතුරෙකුගේ උවමනාවකටයි.
පහුවදා පාන්දරම නුවර එළියේ ඉන්නට ඕනෑ.හදිසියේම යෙදුන ගමණක් නිසා කිසිම පෙර සූදානමක් වෙන්නට බැරි උනා.
මේ දුම්රියට ගම්පහින් ගොඩ වෙන්නත් පුළුවන්. ඒත් ආසනයක් අල්ලාගන්න තියෙන උවමනාව හින්දා කොළඹ කොටුවටම ආවා.නිදන මැදිරි ආසන එකක්වත් නැහැ. දෙවැනි පන්තියේ ප්‍රවේශ පත්‍රයක් අරගත්තත් ඒ මැදිරි එකහමාරත් අතුරු සිදුරු නැතිව පිරිලා. බොහොම අමාරුවෙන් ඒ මැදිරියටම රිංගා ගත්තා. මහනුවරදී සෑහෙන සෙනගක් බැහැලා ගියත් ආසන නම් පිරිලා.
මම හිටගෙන හිටිය තැන ඉඳගෙන හිටිය මැදි වයසට ආසන්න බොහොම ප්‍රිය මනාප පෙනුමක් තියෙන පිරිමියෙක් ගම්පොලදී ඔහුගේ ආසනය මට ලබා දුන්නා. නාවලපිටියේදී මගේ ලඟ ඉඳගෙන සිටි කෙනා බැහැ ගත්තා. එවිට අර පුද්ගලයා නැවතත් මගේ ලඟින් ඉඳගත්තා.
මැරිච්ච මිනිස්සුන්වත් කතා කරවන මට ඒ ගොයියාව කතා කරවන එක මහ වැඩක්‍ යැ. මූලික ආගිය තොරතුරු හුවමාරුවකින් පස්සේ මම ඔහුගේ කතා පෙට්ටිය දිගහැරවා ගත්තා.
මෙයා පිටකොටුවේ හතරවැනි හරස් වීදියේ බොහොම සරු තොග වෙළඳසැලක නාට්ටාමි කෙනෙක්. සාමාන්‍යයෙන් නාට්ටාමි කෙනෙකු කිව්වහම අපේ හිතේ ඇඳෙන චිත්ත රූපයට වඩා හාත්පසින්ම වෙනස් කෙනෙක්.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉතාමත් කඩවසම් අයෙක්. පාට නම් කළුයි තමා. ඒ වුනාට මොකක්දෝ ප්‍රතාපවත් බවකුත් තියෙනවා. අතේ තියෙන්නෙත් තුනට හතරට නමපු ඉංග්‍රීසි පත්තරයක්. ඒක ලංකාවේ එකකුත් නෙවෙයි. International Herald Tribune පත්තරයක්.
ඊටත් ව්ඩා ලොකු ප්‍රශ්ණ පත්තරයක් මගෙ ඔලුවේ තියෙනවා. ඒවාට නම් උත්තර ලැබුණා.
මොහුත් එක්ක කරපු කතාවෙන් පස්සේ මට දැනෙමින් තිබුණු හීතල නම් කොහෙන් ගියාද නැතුව ගියා.
මොහුත් වැඩිදුර පාසැල් ගියේ නැති වතු කම්කරුවෙක්. මොහු සේවය කර තිබෙන්නේ හැටන් නගරයට ආසන්න උප නගරයක තිබෙන තේ වත්තක වතු කම්කරුවෙකු හැටියටයි.
ඒ වතු යායේ කාර්‍යාලයට සේවයට පැමිණි ගණකාධිකාරී වරිය සමග මොහු ප්‍රේමයක් ඇති කරගෙන තියෙනවා.
ඒ වුනත් මොවුන්ගේ විවාහයට පාලනාධිකාරියෙන් අවසර ලැබී ත් නැහැ. ඇගේ ගෙදරිනුත් ප්‍රබල විරෝධයක් එල්ල වෙලා. ඒ ඇය සිංහල තරුණියක් නිසා..
ඔවුන් විවාහ වනවා නම් ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු රැකියාවට සමු දිය යුතුයි. ඔහුගේ කම්කරු තනතුරට වඩා ඇයගේ රැකියාවේ වටිනාකම වැඩියි. ඒ නිසා ඔහු සිය රැකියාවෙන් සමු අරන්.
ඇයගේ වෘත්තිය නිසා ඇයට වරප්‍රසාද රාශියක් ලැබී තියෙනවා. සුඛෝපභෝගී නිල නිවසක්, ප්‍රවාහණ පහසුකම් ආදිය ඇයට ලැබී තියෙනවා. ඒ නිසා ඔහු රැකියාවක් සොයා ගෙන අගනුවරට ඇවිත්. විවිධ රැකියාවල් කීපයක අවසානයේ ඔහු ඉහතින් කී නාට්ටාමි රැකියාවට යොමු වෙලා.
දිවා රෑ දෙකේම මහන්සි වුනොත් ඔහුට රුපියල් දෙදහසකට ආසන්න මුදලක් දෛහිකව උපයන්නට පුළුවන්. එයින් රුපියල් තුන්සියයක් ඔහුගේ වියදමට තබාගෙන ඉතිරිය බැංකුවට දමනවා. ඒ දෙසිය පණහා මොහුගේ දෛනික නඩත්තුවට තියා ගන්නවා.
මාසයකට වතාවක් නිවසට එන විට, ගෙදරට උවමනා හාල් සිල්ලර බඩු ඔහු සේවයකරන ආයතනයෙන්ම තොග මිළට ලබා ගෙන හොඳින් අසුරා මොහු ගෙදරට එන දිනයේ උදෑසන ගුඩ් ශෙඩ් එකට භාර දෙනවා.
ඉතින් මොහු දුම්රියට නගින්නේ හිස් අතින් තමයි. එවිට දුම් රිය පැමිණි විටම පැනගෙන ගිහින් ආසනයක් ලබා ගත හැහියි. ඉන් පස්සේ මොහුගේ පාර්සලය නිවැරදිව පැටෙව්වාද කියාත් බලනවා. මොහුගේ ගමනාන්තයේදී අර බඩු බාණ්ඩ නිවැරදිව බෑවා ද කියාත් මොහු සැක හැර දැන ගත් පසුවයි ඔහු නිවෙස කරා පිය නගින්නේ.
මේ වන විට ඔහු උපයාගත් මිළ මුදල් ලැයිස්තුව ගැනත් කිව්වා. නගරයෙන් ඉඩමක්, රන් පවුම් 48ක්, මෝටර් සයිකලයක් ගැන එහෙමත් කිව්වා.
දියණියන් තුන් දෙනෙක් ඉන්න නිසා රන් පවුම් ඉදිරි අනාගතය වෙනුවටයි. වයස හතලිස් දෙක වෙනවිට නාට්ටාමි රැකියාවට ආයුබෝවන් කියන බවත් කිව්වා.ඉන් පසුව අර ඉඩම් කැබැල්ලේ තොග කඩයක් ආරම්භ කරනවාලු.
මේ කතන්දරය ඇසුනහම මට මම ගැනම දුක හිතුනා.  අපි පාවිච්චියට නොගත් සම්පත් අපිට නොමිලයේ ලැබිලා තියෙනවා උනත් අපි ඒවා පාවිච්චියට ගන්නෙ නහැනේ.
ඒ කතාවෙන් පස්සේ මමත් හැදුනා.
වසර දහයක් දොලහක් තිස්සේ පුරන් වී තිබුණු අපට අයිති කුඹුරු ටික අස්වැද්දුවා.වසා දමා තිබූ ඇඹරුම් හලක් නැවත ආරම්භ කළා. සහල් අලෙවිය පටන් ගත්තා. ක්‍රම ක්‍රමයෙන් ඉහලට ආවා.
කොහොම වුනත් මටත් පුංචි සැකයක් තිබුණා නාට්ටාමි කෙනෙකුට මේ තරම් මුදලක් උපයන්නට පුළුවන්ද කියලා.
ඒත් එය ඇත්තක්. මා යටතේ සේවය කරන නාට්ටාමිලාත් දිනකට රුපියල්
හාර පන්දහසක් උපයනවා. ඒ උනත් බීමත් කම නිසාත්, ස්ත්‍රී ජාල වලට අතදිග හැරලා වියදම් කරන නිසා ඒ මුදල් වල ඉතිරියක් නම් නැහැ.

Sunday, April 29, 2018

මංකොල්ලය

ජීවිතේ අඩ සිය වසකට අධික කාලයකුත් ගත උනායින් පස්සෙ, නිස්කාන්සුවේ ඉඳගෙන, මගේ ජීවිතයේ ගත වුනු කාලය ගැන හිතන කොට නම් මම ගැන මටම පුදුම හිතෙනවා. ඔය කාල සීමාවෙදී මම මුහුණ දුන්නු සිදුවීම් පොතකට එකතු කරොත් නම් ඒක ලෝකෙ තියෙන ලොකුම නවකතා පොතටත් වඩා තවත් ටිකක් ලොකු වේවි.
මේ කියන සිදු වීම වෙලා දැන් වසර බර ගණනක් ගෙවිලා ගිහින්. ඒත් එදා මම මුහුණ දුන්න මේ සිද්ධියෙන් ඉගෙන ගත්ත පාඩම නම් මගේ ජීවිතයට බොහෝ වැදගත් වුනා. මට තියෙන ලොකුම කණගාටුව මේ වගේ දේවල් වෙනවා කියලා නොදන්නා අමුත්තෙක් මට දුම්‍ රිය නිදන මැදිරියකදී කියලා දීලත් ඒක හරියට පිළිපදින්න බැරි වුන එක ගැනයි.
මේ කියන කාල වකවානුවේදී මගේ පුතාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අපි මහනුවර පදිංචි වෙලා හිටියේ. පාසැල් නිවාඩුවට තුන් දෙනාම ගම්පහ ගෙදටට එනවා. එහෙම ගම්පහට ඇවිල්ලා හිටපු එක නිවාඩු කාලයක හදිසි අවශ්‍යතාවයකට මහනුවර ගෙදරට යන්න වුනා.
ඊට පස්සේ ආපහු ගම්පහට එන්න පිටත් වෙන කොටත් රෑ 9.30 ට පමණ ඇති. නගරාන්තර නොවෙන පුද්ගලික බසයකටයි මම ගොඩ වුනේ. යක්කල හන්දියෙන් බැස්සහම එතැනින් ගම්පහට එන්න පුළුවන් වෙනවා උනත් ඒ ටික දුර එන එක බොහොම දුෂ්කර ක්‍රියාවක්. ඒ දවස්වල ත්‍රිරෝද රථ මංකොල්ල ගණනාවක් වෙලා තිබුණු හින්දා රාත්‍රියට ඒ අය දුර ගමන් යන එක ප්‍රතික්ෂේප කරන කාලයක්. ඒ නිසා කැළණිය දුම්රිය ස්ථානය ලඟින් බැහැලා අන්තිම දුම්රියේ ගම්පහට එන එක තමයි වඩාත් පහසු.
බස් රථය ගමන ආරම්භ කරා. අතරමගදී බසයට සෑහෙන මගීන් සංඛ්‍යාවක් ගොඩ වුණා. කෑගල්ල නගරයෙන් මගීන් හත් අට දෙනෙක් බසයට නැග්ගා. ඒ අය අතරින් වයස අවුරුදු 30 - 35 අතරේ පිරිමියෙක් මගේ ලඟ තිබුණු හිස් අසුනේ වාඩි උනා. ඔහුත් එක්කම තවත් කෙනෙක් ආවා කියලා මම දැන ගත්තේ ඔහු කොළඹට ප්‍රවේශ පත් දෙකක් අර ගත් නිසා.
වරකාපොල හරියෙදී පටන් ගත්ත වැස්ස කිරිබත්ගොඩ කිට්ටු වෙන කොට ධාරානිපාත වැස්සක් බවට පත්වෙලා. වෙලාවත් සෑහෙන්න ගත වෙලා. අන්තිම දුම්රිය මේ වෙනකොට ගම්පහටත් කිට්ටු කරලා ඇති.
ඒ නිසා කෙලින්ම පිටකොටුවට ආවා. උඩරට මාර්ගයේ පළමු දුම්රිය පාන්දර 3.30 ට ගමන් ආරම්භ කරනවනෙ. ඔය ටික වෙලාව ඔය පිටකොටුවෙම ගත කරන්න පුළුවන් කියලා හිත හදා ගත්තා.
මධ්‍යම රාත්‍රියට පිටකොටුවේ මැවෙන්නේ අමුතුම ලෝකයක්. මැජික් කාරයෝ, තෙල් බෙහෙත් වෙළෙන්දෝ, ඩුප්ලිකේට් ජෝතිලා, මිල්ටන්ලා එමටයි.හදන්නේ කොහෙද කියලා දන්නෙ නැති උනත් ගින්දර වගේ උණුවෙන් රසම රස සව් කැඳ වීදුරුවක, එවෙලේ බදින උණු රටකජු වල රසය විඳින්නත් පුළුවන්. රාත්‍රියටත් පිටකොටුව ජනාකීර්ණයි.
බස් එක පිටකොටුවට එනකොටත් වැස්ස අඩුවක් නැති නිසා බස් එක බැස්ටියන් මාවතේ බස්නැවතුම් පොලේම නැවැත්වුවා. ඔය වෙනකොට කෑගල්ලෙන් බස් එකට නැගලා මගේ ලඟින් ඉඳ ගත් හාදයා මගෙත් එක්ක කතාවට වැටිලා. බස් එකෙන් බැහැපුවාම එයාගේ යාලුවාත් එතැනට ආවා.මේ අය අල සහ රතුළූණු වෙළෙන්දන් බවත්, ව්‍යාපාරික අවශ්‍යතාවයකට අරණායකට ගිය බවත් ඔවුන් නැවතී සිටින්නේ ගුණසිංහපුර බෝඩිමක බවත් කිව්වා.
වැස්ස තවමත් වහිනවා. වෙලාවත් පාන්දර 1.30 ට පමණ ඇති. තේ කෝප්පයක උවමනාව හැමෝටම තදින් දැනුණා උනත් වැස්ස තවමත් යන්තමින් වහිනවා. අර දෙන්නාගෙන් එක් අයෙක් වැස්සේ තෙමීගෙනම ඉස්සරහින් තිබුණ හෝටලයකට ගිහින් වතුර බොන වීදුරුවකට දමලා කිරි තේ එකක් ගෙනාවා.
ඉස්සෙල්ලාම මට බොන්න කියා කිව්වත් අර නිදන මැදිරි මහත්තයාගේ ගෝරනාඩුව සිහියට ආවා. ඒ අයට පළමුව බීලා ඉතිරි ටික මට දෙන්න කිව්වා. අන්තිමේදී එයින් උගුරු දෙකක් මම බිව්වා. තොල් දෙක එකට ඇලෙන තරම් මහා ගොඩක් සීනි දමපු තේ එකක්.
ඊට පස්සේ මේ දෙන්නා මට කතා කරනවා ඒ අය ඉන්න කාමයයට ගිහිල්ලා උදේ පාන්දරට ආපහු යන්න කියලා. ඒ එක්කම මට දැනෙනවා මගේ කල්පනාවේ වෙනසක්. ඉස්සරහා හැම දෙයක්ම දෙකක් වෙලා. ලයිට් වලින් දේදුණු වර්ණ රටා මැවෙනවා.
ඔය අස්සෙන්ම මගේ සිහියට ආවා මේ අය මාව මංකොල්ල කන්න හිතාගෙන මොනවා හරි අර තේ එකත් එක්ක දුන්නා කියලා.
දැන් මට එතැනින් පැන ගන්න ඕනෑ. පිටකොටුව බෝ ගහ ලඟම තියෙන සාන්ත ස්නැක් බාර් එකේ අයිතිකරු මගේ හොඳම යහළුවෙක්. එතෙන්ට යනවා කියලා හිතේ තියාගෙන අර දෙන්නාගේ කාමරයට යමු කියලා ප්‍රධාන මාර්ගයට ආවා.
ඊට පස්සේ මගේ මතකය තියෙන්නේ කඩින් කඩ.
සාන්ත ස්නැක් බාර් එකේ කැෂියර් ඉලන්දාරියාගෙන් ෂොපින් කවරයක් ඉල්ලාගෙන ඔරලෝසුවයි,මුදල් පසුම්බියයි ඒකට දාලා ඔහුට දුන්නා මතකයි.
හැඳුණුම් පතයි රු.100/= කුයි උඩ සාක්කුවට දා ගත්තාත් මතකයි.
කොටුව දුම්‍ රිය පොලෙන් ගම්පහට එන්න ටිකට් එකක් ගත්තා මතකයි.
උදේ 6.30 ට මහනුවර බලා යන නගරාන්තර දුම්‍ රිය ගැන නිවේදනයක් කරනවා මතකයි.
උදේ 9.30ට විතර වනවාසල දුම් රිය ස්ථානයේ හිටියා මතකයි.
ඒ ළඟ තිබුණු කඩේකින් ලැවරියා එකක් කෑවා මතකයි.
කඩේ හිටපු මුදලාලි හාමිනේට කියලා ගෙදරට එන්න ත්‍රි රෝද රථයක් ගෙන්නවා ගත්තා මතකයි.
ගෙදරට ඇවිල්ලා ඒ ත්‍රි රෝද රථයට සල්ලි ගෙවන්න කියලා බිරින්දෑට කිව්වා මතකයි.
මාව බලන්න ලොකු අක්කයි,මස්සිනායි ආවාත් මතකයි.
සම්පත් බැංකුවේ e channeling සේවාවෙන් ස්නායු ශල්‍ය වෛද්‍යවරියක් වන රන්ජනී ගමගේ මහත්මියට  appointment එකක් ගත්තා මතකයි.
නවලෝක රෝහලේ කොරිඩෝව මතකයි.
රෝද පුටුවක තියාගෙන දිග කොරිඩෝවකින් ගිහිල්ලා MRI පරීක්ෂණයක් කරා මතකයි.
කඩින් කඩ මතකයක් විතරයි තියෙන්නේ.
ඔය අස්සෙන් දකුණු අතත් අකර්මණ්‍යයි.
හරියට සිහි කල්පනාව එන්න දවස් පහක් ගත වෙලා තිබුණා.
අත පණ නැතුව ගිහින් තියෙන්නේ බංකුවක නිදාගෙන ඉන්න වෙලාවේ අත තෙරපීමකට ලක් වෙලා. ඒ අතට භෞත චිකිත්සක අභ්‍යාස කරලා ලියන්න පුළුවන් වෙනකල් රෝහලෙන් ටිකට් කැපුවේ නම් නැහැ.
අර තේ එකේ මුල් කොටස බිව්ව දෙන්නටත් මේ වගේම සිහිය විකල් වෙන්නත් ඇති.
රෝහලෙන් ගෙදරට එන ගමන් අර පිටකොටුවේ කඩේට පරිස්සමට තියාපු දේවල් අරගත්තා. එතැන තිබුණු වටිනාම දේ මගේ අතේ තිබුණු ඔරලෝසුව පමණයි. ලොකු මුදලක් නම් තිබුණේ නැහැ.
කඩේ හිටපු අය කියනවා බාහිරින්වත් හැසිරීමෙන් වත් මගේ ලොකු වෙනසක් පෙනුණේ නැහැල්ලු.
මම ගෙදරට ආව ත්‍රිරෝද රියැදුරා එක්කත් හොඳට කතා කරමින් ආවලු.
නොකඩවා නිදා ගත් එකටලු ගෙදර අය බය වුණේ.
පහුවදා රෑ රෝහලට යනකොටත් මම හොඳට කතා කර කර ගියාලු.
අතරමග කඩේකින් වාහනය නවත්වාගෙන දුම් වැටි පැකට් එකකුත් ගත්තලු. ඒත් ඒවා එකක්වත් මගේ මතකයේ නැහැ.
පියවි සිහිය ආවයින් පස්සේ හිතට එන ගැටළු ගොඩයි . සිහිය විකල් කාලේ මම මොනවා කියෙව්වද දන්නෙත් නැහැනෙ.
සිහිය ආවයින් පස්සේ එකම බලාපොරොත්තුවයි තිබුණේ.
ඒ මගේ අතින්ම discharge card එකේ අත්සන් කරලා ගෙදර එන්න. ඒක නම් කොහොම හරි කර ගත්තා.
එහෙම නැති උනත් මාව discharge කරවන සිදු වීමකුත් උණා.
අපායට ගියත් අතහරින්නට බැරි පුරුදුත් තියෙනවනේ. පුරුදු උනාම දුම් වැටියක්, බුලත් විටක් නැතුවම බැහැ. වාට්ටුවේ ඕවා කරන්නත් බැහැනේ.
භෞත චිකිත්සක අභ්‍යාස කරන කාමටයට මම යන්නේ තනියම.
ඒ ගිහිල්ලා ආපහු එනකොට එලියට පැන ගන්න රෝගියෙක් ලඟ ඉන්න උපස්ථායකයෙකුගේ වෙස් ගත්තා.
කිසි අවුලක් නැහැ. පුංචි බොරැල්ල හන්දියෙම ඉන්න රංජි අය්යාගේ විට කඩේට ගිහිල්ලා උවමනාව ඉෂ්ඨ කරගෙන හොර පූසෙක් වගේ වාට්ටුවේ ඇඳට එනවා.
විශේෂඥ වෛද්‍යතුමිය වාට්ටුවට එන වෙලාවට සහපිරිවර රාශියක් ඒ පස්සෙන් එනවනේ. එදත් එහෙම ආව ඇටෙන්ඩන් මහත්තයෙක් මාව අර විට කඩේදී දැකලා තිබිලා. මෙයා ඒ බව මහා සද්දෙට රන්ජනී ගමගේ නෝනාට කිව්වේ මම ආනන්තර්‍යය පාප කර්මයක් කරලා එයා අතටම අල්ලා ගත්තා වගෙයි.
එතුමිය මගේ මූණ දිහා බැලුවා. මගේ මූණෙ ඇඳිච්ච හොර හිනාවට එයාටත් හිනාවක් ගියා.
ඇඳ ඉහපත් ගොනුව අතට අරන් ලියාගෙන ලියාගෙන ගියා.
"Discharged"

Saturday, April 28, 2018

රේල් පාර දිගේ ගෙදරට


මම පාසැල් ගියේ අගනුවරටයි.
ගෙදර ඉඳන් ගම්පහ නගරයට බස් රථයකින් ඇවිල්ලාගම්පහ ඉඳන් මරදානට දුම් රියෙන් ගිහින් මරදානෙ ඉඳන් පාසැලට පා ගමනින් යනවා.
ගම්පහින් උදේ 06.04 ට පිටත්වෙන
දුම් රියේ පාසැල් මැදිරියක් තිබුනා.
ඒක දැන් තියෙන පාසැල් බස් රථ වල වගේ සද්ද බද්ද නැහැ.
හැමෝම තමන්ගෙ පාඩුවෙ යනවා.
ඒ සංවර කම හින්ද එහෙම නෙවෙයි. පාසැල් වල ගුරුවරුත් ඒ මැදිරියෙම යන හින්දා.
නන්දනී ටීචර් කියන්නේ අපේ අර්ජුන රණතුංග ඇමති තුමාගෙ අම්මා.ඒ පවුලෙ හැමෝම වගේ ක්‍රිකට් ක්‍රීඩා කරපු නිසා ඒ ආම්පන්න දමාපු බෑග් රාශියක් අරගෙනයි උදේට දුම් රිය පොලට එන්නේ. ක්‍රීඩා භාරව හිටපු සමරකෝන් සර්, ආනන්ද බාලිකාවෙ උගන්නපු කටුවාවල ටීචර්ව එහෙම නම් නමින් මතකයි.
අපේ ගෙදරින් කවුරු හරි මාත් එක්කම ඇවිල්ලා මාව ඒ ගුරුතුමියකට භාර දෙනවා. ඔය කෝච්චියෙන් මරදානට එනකල්ම ගුරුවරුන්ගේ අඩස්සියේ තමයි එන්නේ. ඒ හින්දා ඒකෙ එන ඔක්කොම ළමයි සාන්ත දාන්ත තීන්ත කූඩු වගේ.
මේ කියන්න යන සිදුවීම උන දවසේ අපේ පාරෙ ගංවතුර.
ඒ දවස් වලට බස් ධාවනයක් නැහැ. ඉතින් වැඩට යන අය, පාසැල් ළමයි එහෙම පෙරහැර වගෙ පයින් යනවා. අපිටත් ඉතින් ඒ දවස් වලට පාසැලට යන්නම ඕනේ. ගෙදර නවතින්නෙම නෑ. ගංවතුරෙ පයින් යන එකත් අපූරු අත් දැකීමක්නෙ.
එදා මාව දුම්‍ රියට ඇරලවන්න බාර දුන්නේ අපේ මාමා කෙනෙකුට. අම්මා තරම් නීති දාන්නෙත් නැහැනෙ. හිතේ හැටියට ගංවතුර ප්‍රීතිය භුක්ති විඳිමින් ගම්පහ දුම්‍ රිය පොළට ආවා. වේදිකාවේ කළින් යන දුම් රියත් නවත්තලා තියෙනවා. ඒත් පිටත් වෙන්නේ නැහැ. විපරම් කරලා බලනකොට බටුවත්ත දුම් රිය පොලේ දුම් රිය දෙකක් හැප්පිලා. බරපතල අනතුරක්ලු.
අර මාමාත් වඩ කරන්නේ කොළඹ කාර්‍යාලයක. ඉතින් අපි බස් එකේ පිටකොටුවට ආවා. ඒ මාමා මාව පන්ති කාමරයටම ඇරලෙව්වා.
එදා දවසේ මාතෘකාව දුම් රිය අනතුර ගැනයි. ඒ අනතුර දැකපු අය ඒ ගැන පණ පිහිටුවලා කියනකොට ඒක බලන්න කාටද ආස හිතෙන්නෙ නැත්තේ.
පාසැලත් ඇරුනා. දුම් රියේ යන යාළුවො කට්ටියම වෙනදා වගේම මරදාන දුම්‍රිය පොලට ආවා. 1.55 දුම් රියත් වෙලාවටම ආවා. නිවේදනය ඇහුනහමයි හැමෝටම තරු පෙණුනේ.
දුම් රිය ධාවනය වෙන්නේ රාගමට විතරයි. පිටකොටුවට ගිහින් ගම්පහට බස් එකේ එන්න සල්ලිත් නැහැ. ඒ ගමන හැමෝ එක්කම කතා උනා රාගම ඉඳන් දුම් රිය පාර දිගේ පයින් ඇවිල්ලා බටුවත්තේ අනතුරත් බලලා දුම්‍ රිය පාර දිගේ පයින්ම එමු කියලා.
රාගමින් බැස්සා. කිසි පාළුවකුත් නෑ. කට්ටියක්ම ඉන්නවා. ලොකු කට්ටියත් ඉන්නවනෙ. ඔක්කොම රේල් පාර දිගේ පයින් එනවා. වල්පොලදි කට්ටියක් නැවතුනා. ඊළඟට බටුවත්ත. ඒ හරිය
ඊ ගහ වගේ කෙළින් පාර. ඈතින් අනතුරට පත් උන දුම් රිය පේනවා.
කොහොමින් හරි බටුවත්තටත් ආවා.
අනතුර අති භයානකයි. මැදිරි එක උඩ එක නැගලා. මැදිරි ඔසවන්න ආව කළු පාට දොඹකරයක් තියෙන දුම්‍ රිය ඇවිල්ලා මැදිරි පීලිගත කරන්න සූදානම. ඊට ටික වෙලාවකට කලින්ලු සුන් බුන් අතරෙ හිරවෙලා හිටපු කෙනෙක්ව එළියට ගත්තේ.
එතැන පැය බාගයක් විතර ගත කරලා පිටත් වෙනකොට රේල් පාර දිගේ පයින් ආව අය ගොඩක් ඈතින්‍ යනවා පේනවා. ගානක් නෑ අපේ හතර දෙනෙක් ඉන්නවනෙ.
බුළුගහගොඩින් එක්කෙනෙක් නතර උනා. ගනේමුල්ලෙදි ඉතුරු දෙන්නත් නතර උනා. මම තනි උනා. ගම්පහට යන්න තව කිලෝ මීටර් හයක්වත් ඇති. තනියෙන් යන්නත් බයයි. ඒ දවස් වල කරවල වාඩි වලට ළමයින් පැහැරගෙන යනවා කියල කතාවකුත් තිබුණා. ඒ හින්දා කවුරු හරි එයිද කියලා බලා ගෙන ඉන්නකොට බබෙක් හම්බවෙන්න ඉන්න තරුණ ගෑනු කෙකෙකුයි, ඒ වයසෙම තව ගෑණු කෙනෙකුයි රේල් පාරට ගොඩ උනා.
කොහොමින් හරි මමත් ඒ අයටම හේත්තු වෙලා පයින්ම එන්න පටන් ගත්තා.
යාගොඩ ස්ටේෂන් එක පහුවෙලා ටිකක් දුර එනකොට ධාරානිපාත වැස්සක් කඩන් පාත් වුණා. අර දෙන්නට නම් එක කුඩ පොඩ්ඩක් තිබුණා. ඒත් වෙල් යායක් මැදින් වැටුනු රේල්පාරක පයින් එනකොට තියෙන හුළඟට කුඩ ඔරොත්තු දෙනවයැ. ඒ මදිවට ඒකෙ නණ අනික් පැත්ත හැරෙනවා.
ඔය අස්සෙන් අකුණුත් ගහනවා. විදිලි එළි කණ ළඟින් යනවා වගෙයි. කුඩ වලට අකුණු එන නිසා ඒ කුඩේ අකුලා ගත්තා.
ඒ දෙන්නා රාගම ඉස්පිරිතාලෙ ඉඳලා එන දෙන්නෙක්. ඒ හින්දා ඒ අය අතේ පුළුන් කොට්ටයක් තිබුණා. ඒක මට දුන්නා ඔළුවට තියා ගන්න. ඒ දෙන්නා චීත්ත රෙද්දක් ඔළුවට දා ගත්තා.
ගම්පහ නගරයට කිට්ටු වෙනකොට තියෙනවා යකඩ පාලමක්. ඒ පාලමෙන් එගොඩට යන්න තුන් දෙනාටම බයයි. යටින් යන්නේ ඌරුවල් ඔය. පලාතම ගංවතුරෙන් යට වෙලා ඔයේ හැඩ පාර දිහා බලන්නත් බයයි. ඒ මදිවට සිල්පර කොට වලට යටින් හැඩ පාර පේනවා. පයින් යන්න පුළුවන් වෙන්න යකඩ පටි තීරු තියෙනවා උනාට අකුණු ගහනවනෙ.
හිතේ බයට ඉතිපිසෝ ගාථාව මතුරන්න ගත්තට ඒක කියැවෙන්නෙත් නෑ. හීතලට ගැහෙනවා.දත් ඇන්දත් කට කට ගානවා.වෙන කරන්න දේකුත් නැහැනෙ. මරු විකල්ලෙන් වගේ පාලමෙන් පැන ගත්තා.
විනාඩි දෙක තුනක් යනකොට වැස්ස අඩු උනා. ඒ වෙනකොට කලුවරත් වැටීගෙන ඇවිල්ලා. අනේ ඒ දෙන්නා මාව අපේ බාප්පාගේ කඩේටම ඇරලෙව්වා. මම ඒ ගොල්ලන්ගෙ පිහිටෙන් ගම්පහට ආවට ඒ ගොල්ලො කිව්වේ මගෙ පිහිටෙන් ඒ ගොල්ලො බය නැතුව අවා කියලා.
ඔක්කොටම කළින් බාප්පා අපිට කෑම බීම සපයල දුන්නා. දවල්ට කන්නත් නැතුව හැතැප්ම දහයක් විතර පයින් ඇවිල්ලා, ඒ මදිවට ධාරානිපාත වැස්සකටත් තෙමිලනේ.
ඒ වෙනකොටම අපේ අම්මත් එතැනට ආවා අපේ පුංචි අම්මා කෙනෙක් එක්ක. එදා දුම්‍ රිය අනතුර ගැන ගෙදරින් දැනගෙන තියෙන්නෙත් දවල් වෙලා.
ඒ කාලෙ අද වගේ දුරකථන පහසුකම් එහෙමත් නැහැනෙ.
ඉතින් මම කොහොම හරි පාසැල් බස් එකේවත් ආපහු එයි කියලා මාව එක්ක යන්න ගම්පහට ඇවිල්ලා. ඒකෙ ආවෙ නැති හින්දා ආයෙ ගෙදර ගිහිල්ලා. කොහොම හරි එදා දවසට අම්මා ගංවතුරේ ගමන් වාර හයක් ඉහළ පහළ ගිහිල්ලා.
මම නැති හින්දා තාත්තා බය වුනු පාර නොකඩවා බඩ බුරුල් වෙලා.
අන්තිමේදී අර ගංවතුරෙම ගෙදරට එන්න පිටත් උනා කියමුකො. මම ඉතින් කණ හදාගෙන ඉන්නවා ඇති තරම් බැණුම් අහන්න. අනේ මොන බැණිල්ලක්ද ?
ඒ දෙන්නා මට ඇහෙන්න කතා වෙන්නෙ ගං වතුරට ගෙවල් වල වැසිකිළි වලවල් හේදිලා එන එකයි, දියමිටියො කාපුවාම ඇඟිළි වණ වෙලා හැදන තුවාල වලට නටන කොහොඹ තෙල් වක් කරන එකයි, පිළිකනු වල තියෙන කුණු කන්දල් ගහ ගෙන එන එකයි වගේ වස අප්පිරියා හිතෙන කතා.
ඔය කිව්වට මං නෙ දන්නෙ අපේ අම්මගෙ හැටි. දැන් ඕව කිය කිය ගියාට ගෙදර ගියාමනෙ ඉතුරු ටික.
ඒකට තව සහායට කට්ටියත් ඉන්නවනෙ.
ඒ හින්දා ඉතින් ගම පෙනි පෙනී මම බඩේ කැක්කුමකුත් එක්කම්ස් ඔළුවෙ කැක්කුමකුත් හදා ගත්තා. ගෙදරට ගිය සැනින්ම ඔළුවෙ ඉඳන් රෙද්දක් පොරවගෙන නිදා ගත්තා. එතකොට මොනව කිව්වත් මට ඇහෙන්නෙ නැහැනෙ.
ඔය සිද්ධිය උනේ 1974 හෝ 1975 වෙන්න ඕනැ. හැබැයි එදා ඉඳන් මම වැරදිලාවත් ගංවතුර පාගන්න යන්නෙ නැහැ. අර වැසිකිළි වලවල් හේදෙන හැටි මතක් වෙනවා.
අපේ අම්මාටත් දැන් වයස අවුරුදු 88 ක්.
ලෙඩ ඇඳේ තමයි ඉන්නේ. ඒ උනාට එයාට එයා තවම  පොඩි ලමයෙක් කියලා හිතෙනවා ඇත්තේ ඒ අසනීපෙ හැටි හින්දා වෙන්න ඇති.
දැන් අම්මා මට කතා කරන්නේ "තාත්තේ" කියලා. මමත් ඉතින් චූටි බබෙක්ව බලා ගන්නවා වගේ අම්මාව බලා ගන්නවා.
මට බය තියෙන්නෙ කොයි වෙලාවක හරි "අනේ තාත්තේ. මාව වඩාගෙන ගිහිල්ලා මට ගංවතුර පෙන්නන්නකෝ" කියලා කියයිද කියලා.
ඒත් එතකොට මට කියන්න පුළුවනෑ
"ඔයා ඒ කාලෙ මට ගංවතුර එපා කෙරෙව්වා" කියලා.

කදුරු බෝල ක්‍රිකට්

වෙලේ ගොයම් කපලා ඉවර වෙන්නේ කොයි වෙලේද කියලයි පුංචි දවස් වල අපි බලාගෙන ඉන්නේ. ගොයම් කපලා ඉවර වුනු ගමන්ම කුඹුරු යායම ක්‍රීඩා පිට්ටනියක් බවට හැරෙනවනෙ.
ලොකු ලොකු අයියලා කුඹුරු යායෙ තියෙන ලොකුම ලියැද්ද වෙන් කර ගන්නවා. ඒ ගොල්ලො නම් දෑකැති අරගෙන ඉපනැල්ල ආපහු කොට වෙන්න කපලා එල්ලෙ ගහන්න පිට්ටනි හදා ගන්නවා. උණ ගස් දෙකක් කපලා ඒකත් හිටවනවා බනිස් කට්ටිය කියලා.
ඒ අය අතේ නම් අපිටත් වඩා උස එල්ලේ පිති තියෙනවා. ඒ ගොල්ලෝ සෙල්ලම් කරන්නේ ටෙනිස් බෝල වලින්. ඒ සෙල්ලමට නම් කට්ටිය හුඟක් ඉන්නවනෙ. මටත් එතෙන්ට යන්න ආසාව ඉතිරෙනවා. ඒත් කොහොම යන්නද ? ආරක්ෂක ඇමතිනියත් අපේ පස්සෙන් එනවනෙ. ඒ අපේ අම්මා.
අපේ වත්ත පල්ලෙහා තරමක් ලොකු කොහිල කොටුවක් තිබුණා. ඒ එක්කම තුන්හිරියා පන් කොටුවකුත් තිබුණා. මායි අක්කලා දෙන්නයි වෙලට බහිනකොට අම්මා කොහිල කපනවා. නැතිනම් පන් ගලවනවා.අඟහරුවාදා සහ සිකුරාදා අල්ලපු ගමක පොළ තියෙනවා. ඒකට ගමේ ගොඩේ හැදෙන එළවලු එකතු කරන් යන්න එන කට්ටිය හිටියා. ඒ අයට විකුණන්න අම්මා කොහිල කපනවා.ඒ හින්දා සඳුදා සහ බ්‍රහස්පතින්දා දවස් වලට අපිටත් ඉපනැල්ලේ නටන්න වාසනාව ලැබුණා.
කොහිල දළු කපලා මිටි බඳින්නෙත් අම්මා. ඒ වැඩේ ඉවර වෙන්න පැයක් හමාරක් යනවා. ඒ වෙලාවට අපිත් වෙලේ නටනවා.
කොහිල කොටුවට හෙවන දෙන්නේ දිය කදුරු වැටියකින්. ඒ ගස් වලින් හෙවන විතරක් නෙවෙයි. කොහිල කොටුවට ඕනෑ කරන කාබනික පොහොරත් නොමිලේ ලැබෙනවා. ගොයම් පාගලා ඉවර උනාම ඉතුරු වෙන බොල් වී ඇටයි,වී කාටුවයි දාන්නෙත් කොහිල කොටුවටම තමා.
පොල් පිත්තකින් හදා ගන්න බැට් එකට හරියන පාට පාට බෝල ඇති පදම් තියෙනවා කදුරු වැටිය යට. ඒ කදුරු බෝල ටිකකුත් එකතු කරගෙන වෙලට පැන්නහම ඉතින් අපිටත් ක්‍රිකට් වසන්තය තමයි.
ලොකු අක්කා නම් ඒ කාලෙත් ටිකක් පිළිවෙලට ඉන්න නිසා ක්‍රිකට් ගහන්න එන්නෙ නම් නැහැ. එයා හැමදාම අම්පයර් ම තමා.වෙන අම්පයර්ලාඉන්නෙ පිට්ටනිය ඇතුලෙනෙ. මේ අම්පයර් නෝනා නම් ඉන්නෙ නියර උඩ.ඉපනැල්ලට එයාගෙ සිරිපතුල් දෙක කැපෙනවලු නෙ.
මායි පොඩි අක්කයි තමා මාරුවෙන් මාරුවට බෝලරු යි, බැට් මනු යි වෙන්නෙ. අපිම තමා බෝලෙ අහුලන්නත් දුවන්නෙ. මේ කාලෙ වගේ කම්බයින් හාවෙස්ටර් තිබුනෙ නැති නිසා ගොයම් කපන්නෙ කරලට කිට්ටුවෙන් විතරයි. ඒ නිසා ඉපනැල්ලත් උසට උසයි.
අම්මගෙ රාජකාරිය ඉවර උනාම අපි යනවා අත්තනගලු ඔයේ නාන්න. ඒ නාන තැනට කියන්නේ වැල්ල මුල්ල කියලයි. එතැනම ඔය වංගුවක් ගන්න හින්දා අපි නාන තැනට ඉස්සරහින් වක්කලමක් තිබුණා. එතැන අලියෙක්වත් පොවුවන්නෙ නැති තරම් ගැඹුරුයි කියලා අපිට ඒ පැත්ත තහනම් කලාපයක් කරලා තිබුණා. ඒ මදිවට එතැන ලංගම බස් එකකටත් වඩා ලොකු, අපේ රතු ගොන් නාම්බවත් එක කටට ගිලින්න පුළුවන් වෙන කිඹුලෙකුත් ඉන්නවලු නෙ. ඒ හින්දා අපි නාන්නේ බාල්දියකින්. අම්මා නම් ඒ වක්කලමට උඩින් පීනලා එනවා. ඒ තඩි කිඹුලා අම්ම දිහා ඇහැක් ඇරලා බලන්නෙ නැත්තෙ අපේ අම්මගෙ තියෙන වස ඌත් දන්න නිසා වෙන්නත් ඇති.
නාලා ගොඩට ආවහම සීතලයි. එහෙම හීතල දැනෙන්නේ මැදින් මාසෙ පෑවිල්ල හින්දා ඔයේ වතුර කැකෑරිලා තියෙන හින්දා වෙන්නත් ඇති.
නාලා ඉවර උන ගමන්ම අපි දුවන්නේ කුස්සියට. නෑව ගමන්ම එන හීතලට කෝපි හදාන බොන්න එහෙම නෙවෙයි. ලුණු පොල්කට්ට හොයාගෙනයි අපි දුවගෙන එන්නේ. ලුණු වතුර අල්ලක් කකුල් වල අතුල්ල ගත්තහම කැසිල්ල අන්තරස්දාන වෙනවා.
ඒ කාලෙ අපි කදුරු බෝල, පොල් පිති බැට්වලින් ක්‍රිකට් ගහනකොට ගත්ත සතුට දැන් කාලෙ ළමයින්ට ලැබෙන්නේ නැහැ. ඒ අත්දැකීම වින්දෙ නැති ළමයින් ගැන නම් දුකත් හිතෙනවා.
ඒ ළමයින්ටත් කලින් පිට්ටනි වලට දුවන්නෙ අම්මලා නෙ. ඒ අයටත් තව  තව වැඩනෙ. තමන්ගෙ ළමයා සෙල්ලම් කරලා ආපහු එනකොට ටී වී එකේ පෙන්නන කෑම බීම ජාති එහෙම හදලා  දෙන්නත් එපායැ. නැත්නම් කොහොමද එයාලා ක්‍රිකට් තරු වෙන්නෙ.

තරුණ විධායක නිළධාරියා සහ අළුත් වාහනය


තරුණ විධායක නිළධාරියා  අළුතින් වාහනයක් මිළට ගත්තා

මීට කලින් ඔහු පැදෙව්වේ සැහැල්ලු මෝටර් කාර් එකක්. මේක නම් ඊට වඩා බරසාරයි. දිග පළලත් වැඩියි. ඒ මදිවට එය පදවන්න බර වාහන රියැදුරු බලපත්‍රයත් ඕනෑ. මොහුට තියෙන්නේ සැහැල්ලු වාහන බලපත්‍රයක්. ඒ වුනත් මේ වගේ සැප වාහනයක් එලවන එකත් හීනයක්නේ. ඒ හින්දා දෙපාරක් හිතන්නේ නැතුව වාහනය මිළ දී ගත්තා.

එදා එම ආයතනයේ විධායක නිළධාරීන් කීප දෙනෙකුම මොහු අළුත් වාහනය මිළ දී ගැනීම නිමිත්තෙන් මත්පැන් සාදයක් ඉල්ලුවා.ඒ නිසා ඒ හැමෝම කතා වුනා දෙහිවල ප්‍රදේශයේ පිහිටි අවන්හලක ඒ සාදය පවත්වන්නට.
ඒ නිසා අපේ කතා නායකයාත් බොහොම ප්‍රීතියෙන් අළුත් වාහනයෙන්ම එතැනට යන්න පිටත් වුනා.

පාර දිගටම අධික වාහන තදබදයක්. කොහොම හරි එතැනට යන්නත් එපායැ.

අපේ යාලුවාත් එහෙන් මෙහෙන් වෙට්ටු දාලා විගහට යන්න බැලුවා.
කොළඹ කොටුවේ වාහන තදබද වෙලාවට අශ්වාරෝහක පොලිස් නිළධාරීන් ඉන්නවා. ඔවුනුත් වාහන තදබදය අඩු කරන්නට සෑහෙන සහායක් ලබා දෙනවා. ඒ වෙලාවේ වාහනයක් පදවන්නත් සෑහෙන සටනක් දෙන්න ඕනෑ.

කහ ඉරකදී මගීන්ට පාර මාරුවෙන්න අශ්වාරෝහක පොලිස් නිළධාරියා වාහන නවත්වන්නට කියා සංඥාවක් දුන්නා. මගීන් පාර මාරුවෙන්න කලින් අපේ යාලුවාත් අණ නොතකා වාහනය ඉස්සරහට ගත්තා.

අශ්වයා කලබල උනා. අශ්වයා මිත්‍රයාගේ වාහනයේ බඳේ හැප්පුනා.
මිත්‍රයා පැති කණ්නාඩියෙන් බැලුවා. අශ්වයාට අනතුරක් නැහැ. ඒ උනත් අනතුරක්නේ. බර වාහන බලපත්‍රයත් නැහැනේ. ඒ නිසා දන්න සෙල්ලම් ඔක්කොම දමලා වාහන අස්සෙන් රිංග රිංගා අවසානයේ සාදය පැවැත්වෙන තැනට ආවා.

වාහනයත් ලේසියට ඇහැ ගැහෙන්නේ නැති තැනක නවත්වලා යාලුවන් හිටි මේසයේ ඉඳගත්තා විතරයි.
අර පොලිස් නිළධාරියා එතෙන්ට කඩා පැනලා මොහුගේ බෙල්ලෙන්ම අල්ලා ගත්තා.

යාලුවාටත් අදහාගන්නට බැහැ. මේ තරම් ඉක්මනින් තමාව පොලීසියෙන් කොටු කර ගැනීම ගැන. අවසානයේදී පොලිස් නිළධාරියාම ඒ ගැන පැහැදිළි කරා.

අශ්වයාගේ ඇඟේ හැප්පෙනකොටම පොලිස් නිළධාරියා ඇදවැටී තියෙන්නේ කැබ් රථයේ පසු පස ඇති විවෘත කොටසට. ඔහුත් මොහු සමගින්ම ගමනාන්තයට ඇවිත්.

කියවන අයගේ සුභ සිද්ධිය තකා එතැනදී ඇති වූ දෙබස් නම් කප්පාදු කරා.

ගතවුනු සති අන්තයේ



 ඔයාලා ගෙදරට ඕනෑ කරන බඩු අරගන්නට නොයෙකුත් තැන් වලට යන්න ඇති. සුපිරි වෙළඳ සැල් වලට වගේම සති අන්තයේ පැවැත්වෙන ගමේ පොලටත් යන්න ඇති. නගරයේ පොදු වෙළඳපොලටත් යන්න ඇති.

සමහර වෙලාවට දුරකට ඇවිදින්න යන්නත් ඇති. අනුරාධපුර, කතරගම, නුවර එළිය,යාපනය වගේ පැති වලත් සංචාරය කරන්නත් ඇති.

ඒ වගේ යන ගමන් වලදී බිම ඉටි රෙද්දක් එලාගෙන, අව්වට වේලි වේලි ඉන්න මේ වගේ වයසක අම්මලා, බේසම් වල දිවුල් ගෙඩි ටිකක්, අඹ ගෙඩි ටිකක්, ගොටුකොල මල්ලක්, මල් මිටියක් පාර අයිනෙන් තියාගෙන ඉන්න පුංචි දරුවන්වත් දකින්නට ඇති.


ඔයාලා හිතන්නේ ඒ අයගේ ජීවිත නම් සරලයි, අපිට තරම් දුකක් ඒ අයට කොහින්ද කියලා නේද ?එහෙම නැහැ. එයාලටත් දුකයි.
අපිට වඩා ගොඩක් දුකයි.
ඒ අයටත් අපිට වගේම බඩගිනි දැනෙනවා. වෙහෙස දැනෙනවා. වේදනාව දැනෙනවා.

ඒත් ඒ අය අඬනවා දැකලා තියෙනවද ?
ඒ අය දන්නවා මේ ලෝකෙ කවුරුවත් එයාලගෙ කඳුළු මිළ දී ගන්නෙ නැහැ කියලා. ඒ අයගේ කඳුලකටවත් මිළක් නැහැ.

ඒ නිසා ඒ අය එයාලට පුළුවන් හැටියට මිළක් තියෙන දෙයක් විකුණන්නේ ඒ මිළක් නැති කඳුළු හංගාගෙන.

ඒ හින්දයි ඒ අම්මලා, ඒ දරුවෝ තමන්ගේ කඳුළු හංගාගෙන මේ වගේ එළවලු ටිකක්, කොළ වර්ග ටිකක්, දිවුල් ගෙඩි ටිකක්, අඹ ගෙඩි ටිකක් එහෙම පාර අයිනේ තියාගෙන ඔයාලට විකුණන්නේ.

අපේ ජීවිතයේ කිසිම දෙයක් වෙන කාගෙන්වත් තෑග්ගක් හැටියට ලැබෙන්නේ නැහැ. ඒ නිසා නොලැබෙන තෑගි ලබා ගන්න දෛවයට, කර්මයට, දෙවි දේවතා වරුන්ට භාර දෙන එක නම් අන්තිම බොරු වැඩක්.

ඒක හින්දා අපිටත් අපේ ජීවිතයෙන් ජය ගන්න නම් මේ අම්මලා ලඟ, ඒ දරුවන් ලඟ තියෙන, ඒත් අපි තවමත් පාවිච්චි කරන්නේ නැතිව අපේ ලඟම හංගගෙන තියාගෙන තියෙන ශක්තිය එළියට ගනිමු.

මුලදී ටිකක් අමාරු වෙයි. ඒත් ටික දවසකින් ඔයාලටම දැනෙයි ආත්ම ශක්තියෙන් හදවත පුරවා ගත්තහම කොයි තරම් ලේසියෙන් ජීවිතයට මුහුණ දෙන්න පුළුවන්ද කියලා.

ඉලන්දාරියෙකුගේ බදුලු ගමන 1


එක ඉලන්දාරියෙකුට කෝච්චියක බදුල්ලට ගිහිල්ලා ආපහු එන්න බරපතල උණ අමාරුවක් ආවා. ඒ උනාට තනියෙන් යන්නත් බයයි. බදුල්ලේ යාලුවෙක්වත් නැහැ. ඒ හින්දා එහෙම යන්න කොහොමටත් බයයි. ඒ කාලේ එයාගේ බාල මස්සිනාගේ කඩේ තිබුනේ ගම්පහ පැරණි හෙනරත්ගොඩ දුම්‍ රිය පොළ ළඟමයි. ඒ නිසා හැමදාම ඔය කඩේට ගොඩ වෙලා ටික වෙලාවක් කාලෙ ගත කරන්න පුරුදු උනා. කෝච්චි යන එන දිහා බලාගෙන ඉන්න කවුද අකැමැති ?

ඒ කාලේ තිබුණේ ගල් අඟුරු වලින් බල ගැන්වෙන දුම් රිය ඇන්ජින්. දුම් රියේ රියැදුරාට සහායට හිටියේ ෆයර්මන්.
ඒ ගොයියා ඇන්ජිම පිටිපස්සේ තියෙන ගල් අඟුරු බක්කියෙන් විඩින් විඩේ ඇන්ජිමට සවලකින් ගල් අඟුරු දානවා.
ප්‍රධාන දුම් රිය ස්ථාන වල මේ අඟුරු ඇන්ජින් වලට වතුර පුරවන්න උස කණුවක හයි කරපු අලි හොඬවැලක් වගේ බටයකුත් තිබුණා.

දැන් කාලේ ඇන්ජින් වගේ ඒ අඟුරු ඇන්ජිම දෙපැත්තටම යන්න බැහැ. ගමනාන්තයෙදී ඇන්ජිම අනිත් පැත්තට හරවන්නත් ඕනෑ. ඒ වැඩේට විශ්වකර්ම ගැජමැටික් එකක් තියෙනවා. ඒක උඩට ඇන්ජිම ගෙනිහිල්ලා ලොකු අඬුවක් වගේ එකකින් ආපස්සට රවුමක් කරකවනවා. අන්තිමට එල්ලගෙන එන නැරඹුම් මැදිරියත් ඒකටම දාලා කරකවලා අනිත් පැත්තට හරවනවා.
ඒ මදිවට උඩරට දුම්‍ රිය මාර්ගයේ යන දුම් රිය වලට රඹුක්කනදී තව ඇන්ජිමක් පිටිපස්සට හයි කරනවා. නැත්නම් ඔය කඳු ටික අදින්න තනි ඇන්ජිමකට හයියක් නැහැ.

දැන් කාලේ වගේ දුම් රියේ ලොකු වේගෙකුත් නැහැ. ලතාවකට තමයි ගමන. "උඩරට මැණිකෙට..පට කුඩ දෙක දෙක" කියන තාලයටම තමයි දුම් රියේ ගමනත්.

වේයන්ගොඩ, පොල්ගහවෙල, රඹුක්කන, කඩුගන්නාව වගේ දුම් රිය නැවතුම් පොලවල් වල විනාඩි පහක් දහයක් නතර කරලා තියෙනවා ම තමයි. ඒ වෙලාවට ලඟ තියෙන කඩේකට ගිහිල්ලා උවමනා දෙයක් අරගෙන ආපහු දුවලා එන්නත් පුළුවන්. පුරුදු කාරයෝ නම් අහල පහල තියෙන නිල නොලත් මත් පැන් අලෙවි කරුවන්ගෙන් පොඩි අඩියකුත් ගහලා පිටි අල්ලෙන් කට පිහ දදාත් එනවලු.

රඹුක්කනදී හයි කරන අමතර ඇන්ජිම කඩුගන්නාවෙදි නවතිනවා. ඊට පස්සේ නාවලපිටියෙදී මුලු දුම් රියේම කාර්‍ය මණ්ඩලය මාරු වෙනවා. ඊට පස්සේ අළුත් රියැදුරා, ෆයර්මන්, ගාඩ් මහත්තුරු, මට මතක හැටියට දුම් රිය භෝජනාගාරෙ සේවකයො කට්ටියත් මාරු වෙනවා.

ඒ සේවකයොත් බොහොම ගාම්භීර ආකාරෙට සුදු පාට කර පියවපු කෝට් එකක් ඇඳලා මගීන් එක්ක සුරුස් බුරුස් ගාලා ඉංගිරිසියෙක් කතා කරන හැටි එහෙම නම් මට තවමත් මතකයි.
දැන් කාලෙ වගේ දුම් රිය භෝජනාගාරෙ අතුරු සිදුරු නැතුව සෙනග පිරිලා ගමන් කරන්නේ නැහැ. නිදහසේ කෑමක් බීමක් අරගන්න, ඒවා එතැනම ඉඳන් භුක්ති විඳින්නත් අපූරුවට ඉඩ කඩ තිබුණා. යහමින් චීස් දමපු සැන්විච් පෙත්තක, ගින්දර වගේ හදාපු කිරි තේ එකක මතකය නම් මටත් තවම තියෙනවා.

ආදි කාලෙ ඉතින් ඕවත් අරුම පුදුම දේවල්නෙ. කවුරුහරි කෙනෙක් ඔය වගේ ගිය දුම් රිය ගමණක් ගැන කියද්දී කාටද ආසා හිතෙන්නේ නැත්තේ.
ඉතින් ඔය හීනය සැබෑ කර ගන්න අපේ කතා නායක ඉලන්දාරියාටත් පුදුම ඇම්මක් තිබුණා. අවසානයේදී ඒක ඉෂ්ට කරලා දුන්නේ පොඩි මස්සිනාගේ මල්ලියෙක් උන ඉස්කෝලෙ මහත්තයෙක්.

ඉස්කෝලෙ නිවාඩුවෙදී බදුලු ගමන යන්න යොදා ගත්තා. ඒකට නිදහස් ගමන් බලපත්‍රත් හදා ගත්ත හින්දා ගමන් වියදමත් අඩුයිනේ. ඒ කාලෙ ආසන කලින් වෙන් කරවන්නත් පුළුවන්. උඩරට මාර්ගයේ දුම් රියෙන් යනකොට දකුණු පැත්තෙන් අයිනක් අල්ල ගන්න තියෙනවා නම් මල් මසුරන්. බලන්න දේවල් වැඩියෙන් තියෙන්නේ දකුණු පැත්තෙයි. කඩුගන්නාවෙ කන්ද අදිනකොට පේන භූමි දර්ශණ බලන්න අදටත් කැමත්තක් තියෙන්නෙත් ඒක වෙන්න ඕනෑ. සමහර වෙලාවට වළාකුල් වලටත් උඩින් දුම් රිය යනවා.

කඩුගන්නාව කන්ද නගිනකොටම වගේ සීතල දැනෙන්න පටන් ගන්නවා. එතකොට ඉතින් සමහරු සීතලට අඳින්න ගෙනා ඇඳුම් අඳින්න පටන් ගන්නවා. තලප්පාවල් බැඳ ගන්නවා. කන් වැහින්න තොප්පි දා ගන්නවා. කොහොමටත් ඔය හරියෙදිම කන් දෙකත් අගුලු වැටෙනවා.

ඔන්න ඔය වෙලාවෙදි අර ඉස්කෝලෙ මහත්තයා භෝජනාගාරෙට ගියා. විශේෂ දුම්‍ රිය වල විතරයි පෙට්ටියෙන් පෙට්ටියට මාරු වෙන්නත් පුළුවන්. ඒ කාලෙ දුම් රිය වල පෙට්ටි අතරෙ තියෙන අන්තරයත් වැඩියි. ඒක අස්සෙන් සිල්පර කොටන් පේනකොට මර බයකුත් එනවා. ඒ හින්දා මෙහේ පෙට්ටියෙන් එහා පෙට්ටියට මාරු වෙනකොටත් පපුව ටික් ටික් ගානවා.

ඔන්න ඉතින් අර ඉස්කෝලෙ මහත්තයාටත් සීතල ඇල්ලුවා. ගල්ගමුව වගේ කාෂ්ටක පැත්තක ඉන්න අයට ඒ කාලේ සියනෑ කෝරලෙත් සීතලට දැනුනලුනේ. මෙයා ඉතින් භෝජනාගාරෙට ගිහිල්ලා අර ඉලන්දාරියාටත් දෙහි පෙත්තක් අමුණපු දෙහි බීම වීදුරුවක් ගෙනල්ලා දුන්නා.

අම්මලා ඒ කාලෙ ළමයින්ට දෙහි බොන්න දෙන්නෙත් නැහැ ඇඟේ ලේ පිච්චෙනවා කියලා. ඒ හින්දා මෙයත් වෙනසකටත් එක්ක බීලා දැම්මා. සැරට දැනුනත් බොන්න බොන්න ආසයි. ඉතින් ඇදලා දැම්මා.

බදුල්ලට යනකල් ඔය වගේ දෙහි බීම වීදුරු තුනක් විතර බිව්වා. සීතල කියන නාමයක් නැහැ. රෑ බෝ වෙනකොට කෝච්චිය බදුල්ලට ලඟා උනා.

මේ ගොල්ලන්ව පිළි ගන්න තවත් ඉස්කෝලෙ මහත්තයෙක් දුම් රිය පලට ඇවිල්ලා හිටියා. තුන් දෙනා එක්කම ඒ මහත්තයාගෙ ගෙදරටත් ගියා.

අයිස් වගේ සීතල වතුරෙන් මහ රෑම නාන්නත් උනා. අඟුරු ඇන්ජිමක් හයි කරපු කෝච්චියක ගියාම මගීනුත් බාගෙට කළු වෙනවා අඳුරු දුමාරෙට. වීදුරුවෙන් ඔලුව එළියට දාගෙන ගියොත් හීනි වැලි කැට වගේ අඟුරු කුඩු ඇස් වලටත් යනවනෙ.

නාලා ඉවර උනු ගමන්ම පොල් අරක්කු බෝතලේකුත් සබේට ආවා වල් ඌරු මස් දීසියකුත් එක්ක. කොහොම හරි අර ඉලන්දාරියටත් මේවා සීතලට අපූරුයි කිය කියා බල කර කර පෙව්වා කියන්නකො. එපාම කියද්දී අමාරුවෙන් බතුත් කන්න දුන්නා. වැල්ලවායෙන් ගෙනාව මී කිරියි, ඒ ගොල්ලන්ගෙම කිතුලකින් හදා ගත්ත කිතුල් පැණියි එහෙමත් කෑවා.

නිදියෙන්න ඇඳට වැටුනා විතරයි. අර ඉලන්දාරියාව කැරකෙන්න ගත්තා. ඉලන්දාරියා ඇඳ උඩ. ඉස්කෝලෙ මහත්තුරු දෙන්නා එතැනම බිම පැදුරක් එලාගෙන. උගුරට බ්‍රේක් නැති උනා. උදේ ඉඳන්ම බඩට වැටුන සැන්විචුයි, දෙහි බීමයි, පොල් අරක්කුයි,වල් ඌරු මසුයි, බතුයි, කිරිපැණියි වලින් ඉස්කෝලෙ මහත්තුරු දෙන්නා හොඳට නා ගත්තා.

කට්ටිය ඉතින් කාමරෙත් සුද්ද කරලා ආපහු නාලා පිරිසිදු වෙලා වෙරි බහින්න කියලා දෙහි කෑලි දෙකක් ඔළුවෙයි, යටි පතුල් වලයි උලන ගමන් කතාවක්.

"තමන්ට ඇති තරමට එපායැ බොන්න. මේ කිරි සප්පයින්ට බොන්න දෙනවද ?
අනිත් අය බොන්න කිව්වත් තමන් දැනගන්න එපායැ තමන්ගේ තරමට බොන්න"
අර ඉස්කෝලෙ මහත්තයාගෙ නෝනත් ඇවිල්ලා කියවන්න ගත්තා.

ඔලුව උස්සගන්නත් බැරි තරම් අමාරුවෙන් හිටියත් අර ඉලන්දාරියාගෙ කට නලියන්න ගත්තා.

"සීතලට දිව්‍ය ඖෂධයක් කියලා ඉස්කෝලෙ මහත්තුරු දෙන්නෙක්ම කියලා දුන්න හින්දනේ මමත් බිව්වෙ..!"

කතාව ටිකකට මුලට ගෙනියනවා.
ඒ කාලෙ දුම්‍ රිය භෝජනාගාර වල මත් පැනුත් විකුණන්න තිබුණා. අරක්කු නම් නෙවෙයි. ඩ්‍රයි ජිනුයි, බ්‍රැන්ඩියි. බැදපු කජුත් තිබුණා. විඩින් විඩේ දෙහි බීම කියලා ගෙනල්ලා බොන්න දීලා තියෙන්නෙත් ඩ්‍රයි ජින්ම තමයි.

ඒ ඉලන්දාරියත් පසු කාලෙක ගුරුවරයෙක් වෙලා දැන් විශ්‍රාමිකව ජීවිතයේ සැඳෑ සමය බොහොම සතුටින් සැහැල්ලුවෙන් ගෙවනවා. ඒ මගේ බාලම මාමා "සරත් වෙල්ගම".

සරත් මාමේ...!
මට පොඩි කාලෙ ඉඳන්ම කතා පොත් කන්දක් ගෙනල්ලා දීලා කියවීමේ ආසාව ඇති කරාටයි, ලිවීමේ හැකියාව ඇති කරාටයි ඔයාට බොහොම පින්.

( ඊයෙ රෑ අපි දෙන්නා හීං අඩියකින් සප්පායම් වෙන ගමනුයි මේ කතාව කිව්වේ.)

ඉලන්දාරියාගේ බදුලු ගමන 2


අපේ ගෙදර තියෙන්නේ ගම්පහ නගරයෙන් ටිකක් දුරින් උනත් අපේ ගමේ එක තැනකට රේල් පාර පේනවා.
එක දිගට තියෙන කුඹුරු යායක ගස් ගොන්නක් මැදින් හැදුනු කපොල්ලකින් තමයි එහෙම රේල් පාර පේන්නේ.
ඒ කපොල්ලෙන්ම කෝච්චියේ එනකොටත් අපේ ගම යාන්තමට පෙනිලා නොපෙනීලා යනවා.
රෑ වෙලා කුඹුරු වලට වතුර හරවන්න ගියාම නම් රෑට යන කෝච්චි අපූරුවට් පේනවා. පුංචි පුංචි ලයිට් එලි පෝලිමකුත් එක්ක කෝච්චිය යන්නේ රෑ බදුල්ලෙක් වගෙයි. ඒ පනුවාටත් රෑ බදුල්ලා කියලා නමක් වැටෙන්න ඇත්තෙත් ඔය රෑට යන බදුලු කෝච්චියෙ ලයිට් පට්තුවෙන අලංකාරෙට වෙන්න ඇති.

කෝච්චියෙ අන්තිම හරිය පේනකොටයි සද්දේ ඇහෙන්නේ. ගොඩක් වෙලාවට සද්දෙ ඇහිලා බලනකොට අන්තිම පෙට්ටි දෙක තුන තමයි පේන්නේ.
පහු කාලෙක ඉස්කෝලෙ යන්න කොළඹට ආවා උනත් ඒ කපොල්ලෙන් අපේ ගම දිහා බලන එක නම් හැමදාමත් කෙරුණා.

අපේ ගේ පේන්නෙ නැතුවට ගේ ඉස්සරහා තියෙන හල්මිල්ල ගහේ කරටිය නම් ඉහලින්ම පෙනුණා.
පස්සෙ කාලෙකදී පාර පළල් වෙනකොට ඒ හල්මිල්ල ගහ කපන්න සිද්ධ උනා. දැන් නම් ඒ හල්මිල්ල ගහ අපේ ලොකු අක්කාගේ ගෙදර ගරු ගාම්භීර අල්මාරියක වෙස් අරගෙන එයාගේ සකල මනා සම්පත් රැකලා දෙනවා.
ඒ කපොල්ලෙන් බලපුවාම දැන් පේන්නේ තට්ටු හතරක හෝටල් රාජයෙකුයි, වතුර ටැංකියකුයි විතරයි. ඕනෑ කමින් බැලුවොත් අක්කගෙ පුත්‍රයාගෙ අළුත් ගෙයි වහලත් යන්තමට පේනවා.

පුංචි කාලෙ ඉඳන්ම අගනුවරත් එක්ක අපි පහසුවෙන් සම්බන්ධ වුනේ දුම් රියෙන්. තාත්තා රාජකාරි කළෙත් කොළඹ හන්දා දුම් රිය අපේ පවුලේ වාහනය වගෙයි. ඒ කාලේ රජයේ සේවකයන්ට සෙනසුරාදා වරුවක් වැඩ කරන්න ඕනෑ. ඉතින් මාත් දත කට මැදගෙන ඉන්නේ සෙනසුරාදා වෙනකල්.
මුළු සෙනසුරාදා දවස පුරාවටම අළුත් අළුත් අත් දැකීම් කන්දක් ලැබෙනවනේ.

තාත්තාට දුම්රියේ පළමුවැනි පන්තියේ ගමන් කරන්න පුළුවන් වාර ප්‍රවේශ පත්‍රයක් තිබුණා. ඒ උනාට පළමු පන්තියේ මැදිරි තියෙන දුම්රිය උදේට අඩුයි. දෙවැනි පන්තියේ මැදිරි තියෙන දුම්රිය නම් කීපයක් තිබුණා. ගොඩක් වෙලාවට ඒවා හිස්.

ඒවයේ තමයි තාත්තයි, එයාගේ යාළුවෝ කට්ටියකුයි යන්නේ. එක්කෙනෙක්ගේ නම් නම මතකයි රොද්‍රිගෝ කියලා. ඒ එයාගේ පුතෙක් මගෙත් එක්ක ගම්පහ ඉස්කෝලෙයි, කොළඹ ඉස්කෝලෙයි දෙකේම හිටපු හින්දා.

තව එක්කෙනෙක් හිටියා අපූරු නමක් තියෙන. ඒ නම තමයි "කණේ මවිලා". කළු පාට පියරු මල් දෙකක් මූණ දෙපැත්තේ හයි කරා වගේ කන් පෙති පිරෙන්න මවිල් බූසියක් තිබුණා.
ඔය ඔක්කොම ටයි බැඳගෙන, බෑග් එල්ලගෙන ඉංග්‍රීසි පත්තරේ බලන සෙට් එකක්.

හිටපු ගමන්ම තලෙයිමන්නාරමේ ඉඳලා එන තැපැල් කෝච්චිය පරක්කු වෙලා එනවා. ඔය කියන කාලෙ තලෙයිමන්නාරම් ජැටියයි, කෝනේශ්වරමයි හරහා ඉන්දියාවට යන එන කාලෙ.

ඉතින් ඒකෙ තියෙන නිදන මැදිරියකට කට්ටියම නගිනවා. ඒ නිදන මැදිරිත් හරිම අපූරුයි. පුංචි කාමර වගේ කෑලි හයක් තිබුණා එක පෙට්ටියක.
ඒ එක කාමරේක ඇඳන් දෙකයි.
එකක් උඩ තියෙන්නේ. ඒකට නගින්න ඉනිමගකුත් තියෙනවා. තව පොඩි සීට් එකකුත් තියෙනවා. නාන කාමරේකුත් තියෙනවා.

ජනේලෙ අයිනේ අකුලන්න පුළුවන් මේස කෑල්ලකුත් තියෙනවා. මම නම් ඉතින් පැන්න ගමන් ජනේලෙ ලඟින් හිට ගන්නවා. ඒ වෙලාවේ අනිත් අය කරන වැඩේ දැනගත්තහම නම් ඔයාලා හැමෝටම පුදුමත් හිතෙයි. හිනහත් වෙයි.

කට්ටියම ඕමි බලනවා. නැත්නම් බූරු ගහනවා.කාගෙන් කියලා තහනමක්ද ? ඔතැන පොලීසියෙ ඉහළ නිළයක් තියෙන කෙනෙකුයි, රේගුවෙ ඉහළ නිළයක් තියෙන කෙනෙකුයිත් හිටියා.

අනේ ඒ වෙලාවට අර ගරු ගාම්භීර ඉංගිරිස් නම් නැහැ. හිටපු ගමන්ම සුද්ද සිංහල එහෙමත් නොකියවුනෙත් නැහැ.

මරදානට එනකොට නම් අර කට්ටිය ආපහු මහත්තුරු වෙනවා. මරදානෙන් බැහැලා එල්ෆින්ස්ටන් එක පැත්තට පාර පැනලා 140 ඩබල් ඩෙකර් එකක් එනකල් බලාගෙන ඉඳලා ඒකෙ උඩ තට්ටුවට නැගලා කොලොන්නාවට යනවා.

ආපහු එනකොට බුහාරි එකෙන් බුරියානි එකක් කෑමේ වාසනාවත් ලැබෙනවා. ආපහු එන්නෙ නම් නිකන්ම නිකන් පවර්සෙට් එකක තුන්වැනි පන්තියේ. එතකොට අව්ව නැති පැත්තෙන් ඉඳගන්නවා. මම නම් සීට් එකේ දණ ගහගෙන වට පිට බල බල එනවා. හාමුදුරු කෙනෙක්, දරුවෙක් වඩා ගත්ත කෙනෙක් එහෙම ආවොත් නම් වට පිට බැලිලි ඉවරයි. එතකොට ඒ කෙනාට මගේ ආසනේ පරිත්‍යාග කරවලා මාව ඔඩොක්කුවෙන් ඉන්දවා ගන්නවා.

ගම්පහින් බැහැලා එන වෙලාවටම අම්මත් ගම්පහට ඇවිල්ලා ඉන්නේ.
ඊට පස්සෙ මාව ගාමිණි ස්ටෝර්ස් එකේ ජයසේකර ලියන මහත්තයාගෙ ලඟින් ඉන්දවනවා. මාව එතැන පරිස්සමට තියලා ඒ දෙන්නා ගිහිල්ලා සුමානෙට ඕනෑ කරන එළවලු, කරවල එකෙම අරන් ආපහු එනවා.

ඊට පස්සේ ගාමිණී ස්ටෝර්ස් එකට කිරලා තියන්න කියාපු සිල්ලර බඩු ටිකත් අරගෙන රේන්ද සීයගේ පුතා කියලා අපි හඳුන්වන මාමාගෙ හිල්මන් කාරෙකෙන් ගෙදරට එනවා. ගාමිණියෙදි මට ලොකු සූකිරි කැට තුනක් හම්බවෙනවා. ඒකෙන් ලොකුම එක මම කාලා පොඩි සූකිරි කැට දෙක අක්කලා දෙන්නට දෙනවා.

පස්සෙ කාලෙක කෝච්චියෙන් පාසැල් ගිය හැටි ගැනනම් වෙනම පෝස්ටුවක් ලිව්වා නොවැ. ඊට පස්සෙත් කොයි තරම් නම් දේවල් උනාද ?

වැඩට යන්න ගත්තයින් පස්සෙ බොහොම ටික දවසක් කෝච්චියේ ආවා. ඊට පස්සෙ රෑ වැඩ මුර එහෙම කරන්න ගත්තහම මෝටර් සයිකලෙන් වැඩට ආවා ගියා.

මම ආපහු ගෙදරට එනකල් ගෙදර කට්ටිය බඩේ බිත්තර තැම්බෙන තරම් පිච්චි පිච්චී ඉන්න වග තේරුණු හින්දා රෝද දෙකෙන් රෝද හතරකටත් මාරු උනා.

ඊටත් පස්සෙ අගනුවර ආසන්නයටම පදිංචියට ආවා. කෝච්චි වල බස් වල බෝම්බ පුපුරන්න ගත්තයින් පස්සෙ ඉඳලා හිටලා කෝච්චියක බස් එකක ගියා ඇරෙන්න දිගටම යන්න අවස්තාවක් නැති වෙලාම ගියා.

පසු කාලෙක රස්සාව එහෙම එහා මෙහා උනායින් පස්සෙ එක දවසක් නානු ඔයට කෝච්චියේ යන්න ආසාවක් ආවා. ඒකට තෝරා ගත්තේ රාත්‍රී තැපැල් දුම්‍ රියයි.

ආසාවටත් එක්ක පළවැනි පන්තියේ නිදන මැදිරි ආසනේකුත් වෙන් කර ගත්තා. රෑට සීතල වැඩි උනොත් බොන්න කියලා සැර බීම බෝතලේකුත් අර ගත්තා. අර නිදන මැදිරියෙ එක කුටියකට දෙන්නෙකුට යන්න ටිකට් නිකුත් කරනවා.

ඉතින් කොළඹ කොටුවට ඇවිල්ලා හිතේ දෙගිඩියාවෙන් වෙන් කරපු ආසනේට ගියේ ගෑනු පරාණයක් හරි පොඩි එකෙක් හරි හිටියොත් මගේ හුදෙකලා ගමනේ ප්‍රීතිය විඳින්න බැරුව යන හින්දා. වාසනාවකට වගේ ඒකෙ හිටියේ මැදි වයසේ මහත්තයෙක්. එයාට හම්බවෙලා තියෙන්නේ උඩ ඇඳ.
එයා නම් බදුල්ලටම යන බව කිව්වා.

කෝච්චිය පිටත් වෙලා රාගම හරියට එනකොට ඒ මහත්තයා කෑම බාස්කට් එකක් එලියට ගත්තා. මමත් ඉතින් බෑග් එක ඇරලා අර බෝතලෙත් එළියට අරගෙන කෑමට කලින් පොඩි අඩියක් ගහමුද කියලා ඇහුවේ මනුස්සකමට.

බුදු අම්මෝ...!!
ඒ ගොය්යා දාපු සද්දෙට මට කෝච්චියෙන් එලියට පනින්න හිතුණා.

තරහටයි,ලැජ්ජාවටයි එක්ක එක හුස්මට කාලක් විතරම බීලා බෝතලේ ආපහු බෑග් එකටම දා ගත්තා.
එයාට යට ඇඳෙන් නිදා ගන්න කිව්වා.

අරගෙන ගිය සරම ඔලුවේ ඉඳන් පොරවාගෙන උඩ ඇඳට නැගලා හොඳට නිදා ගත්තා. දෙතුන් පාරක් වැසිකිළියට යන්න එහෙම පහළට බැස්සහම මිනිහා මගේ දිහා හොරෙන් හොරෙන් බලනවා වගෙත් දැක්කා. මං මොකටද ආයෙ කතා කරන්න ගිහිල්ලා සෙකන්ඩ් වෙන්නෙ. නින්ද ගියේ නැතුවත් නිදි වගේම හිටියා.

අපේ මාමා ආපහු ගියේ මගේ හිතේ හැංගිලා තිබ්බ කතා උල්පතක් මතු කරලා. ආයෙ සැරින් සැරේට ඒ කතා ටිකත් කියන්නම්.