Saturday, April 28, 2018
ගතවුනු සති අන්තයේ
ඔයාලා ගෙදරට ඕනෑ කරන බඩු අරගන්නට නොයෙකුත් තැන් වලට යන්න ඇති. සුපිරි වෙළඳ සැල් වලට වගේම සති අන්තයේ පැවැත්වෙන ගමේ පොලටත් යන්න ඇති. නගරයේ පොදු වෙළඳපොලටත් යන්න ඇති.
සමහර වෙලාවට දුරකට ඇවිදින්න යන්නත් ඇති. අනුරාධපුර, කතරගම, නුවර එළිය,යාපනය වගේ පැති වලත් සංචාරය කරන්නත් ඇති.
ඒ වගේ යන ගමන් වලදී බිම ඉටි රෙද්දක් එලාගෙන, අව්වට වේලි වේලි ඉන්න මේ වගේ වයසක අම්මලා, බේසම් වල දිවුල් ගෙඩි ටිකක්, අඹ ගෙඩි ටිකක්, ගොටුකොල මල්ලක්, මල් මිටියක් පාර අයිනෙන් තියාගෙන ඉන්න පුංචි දරුවන්වත් දකින්නට ඇති.
ඔයාලා හිතන්නේ ඒ අයගේ ජීවිත නම් සරලයි, අපිට තරම් දුකක් ඒ අයට කොහින්ද කියලා නේද ?එහෙම නැහැ. එයාලටත් දුකයි.
අපිට වඩා ගොඩක් දුකයි.
ඒ අයටත් අපිට වගේම බඩගිනි දැනෙනවා. වෙහෙස දැනෙනවා. වේදනාව දැනෙනවා.
ඒත් ඒ අය අඬනවා දැකලා තියෙනවද ?
ඒ අය දන්නවා මේ ලෝකෙ කවුරුවත් එයාලගෙ කඳුළු මිළ දී ගන්නෙ නැහැ කියලා. ඒ අයගේ කඳුලකටවත් මිළක් නැහැ.
ඒ නිසා ඒ අය එයාලට පුළුවන් හැටියට මිළක් තියෙන දෙයක් විකුණන්නේ ඒ මිළක් නැති කඳුළු හංගාගෙන.
ඒ හින්දයි ඒ අම්මලා, ඒ දරුවෝ තමන්ගේ කඳුළු හංගාගෙන මේ වගේ එළවලු ටිකක්, කොළ වර්ග ටිකක්, දිවුල් ගෙඩි ටිකක්, අඹ ගෙඩි ටිකක් එහෙම පාර අයිනේ තියාගෙන ඔයාලට විකුණන්නේ.
අපේ ජීවිතයේ කිසිම දෙයක් වෙන කාගෙන්වත් තෑග්ගක් හැටියට ලැබෙන්නේ නැහැ. ඒ නිසා නොලැබෙන තෑගි ලබා ගන්න දෛවයට, කර්මයට, දෙවි දේවතා වරුන්ට භාර දෙන එක නම් අන්තිම බොරු වැඩක්.
ඒක හින්දා අපිටත් අපේ ජීවිතයෙන් ජය ගන්න නම් මේ අම්මලා ලඟ, ඒ දරුවන් ලඟ තියෙන, ඒත් අපි තවමත් පාවිච්චි කරන්නේ නැතිව අපේ ලඟම හංගගෙන තියාගෙන තියෙන ශක්තිය එළියට ගනිමු.
මුලදී ටිකක් අමාරු වෙයි. ඒත් ටික දවසකින් ඔයාලටම දැනෙයි ආත්ම ශක්තියෙන් හදවත පුරවා ගත්තහම කොයි තරම් ලේසියෙන් ජීවිතයට මුහුණ දෙන්න පුළුවන්ද කියලා.
Subscribe to:
Post Comments (Atom)
මමනම් ඉතින් ඔය කොහෙ හරි යනකොට පොඩි එකෙක් මැල්ලුම් ටිකක් දිවුල් ටිකක් තියන් හිටියොත් වැඩකට නැති වුනත් මොනා හරි ගන්නවා....එහෙමයි කියල යන ගමනෙ දකින දකින හැම එකෙන්ම ගන් නෑ නවත්තල දුමක් දාන්ඩ එහෙම ඉඩක් තියන තැනකනම් ගන්නව
ReplyDelete