Saturday, April 28, 2018

ඉලන්දාරියෙකුගේ බදුලු ගමන 1


එක ඉලන්දාරියෙකුට කෝච්චියක බදුල්ලට ගිහිල්ලා ආපහු එන්න බරපතල උණ අමාරුවක් ආවා. ඒ උනාට තනියෙන් යන්නත් බයයි. බදුල්ලේ යාලුවෙක්වත් නැහැ. ඒ හින්දා එහෙම යන්න කොහොමටත් බයයි. ඒ කාලේ එයාගේ බාල මස්සිනාගේ කඩේ තිබුනේ ගම්පහ පැරණි හෙනරත්ගොඩ දුම්‍ රිය පොළ ළඟමයි. ඒ නිසා හැමදාම ඔය කඩේට ගොඩ වෙලා ටික වෙලාවක් කාලෙ ගත කරන්න පුරුදු උනා. කෝච්චි යන එන දිහා බලාගෙන ඉන්න කවුද අකැමැති ?

ඒ කාලේ තිබුණේ ගල් අඟුරු වලින් බල ගැන්වෙන දුම් රිය ඇන්ජින්. දුම් රියේ රියැදුරාට සහායට හිටියේ ෆයර්මන්.
ඒ ගොයියා ඇන්ජිම පිටිපස්සේ තියෙන ගල් අඟුරු බක්කියෙන් විඩින් විඩේ ඇන්ජිමට සවලකින් ගල් අඟුරු දානවා.
ප්‍රධාන දුම් රිය ස්ථාන වල මේ අඟුරු ඇන්ජින් වලට වතුර පුරවන්න උස කණුවක හයි කරපු අලි හොඬවැලක් වගේ බටයකුත් තිබුණා.

දැන් කාලේ ඇන්ජින් වගේ ඒ අඟුරු ඇන්ජිම දෙපැත්තටම යන්න බැහැ. ගමනාන්තයෙදී ඇන්ජිම අනිත් පැත්තට හරවන්නත් ඕනෑ. ඒ වැඩේට විශ්වකර්ම ගැජමැටික් එකක් තියෙනවා. ඒක උඩට ඇන්ජිම ගෙනිහිල්ලා ලොකු අඬුවක් වගේ එකකින් ආපස්සට රවුමක් කරකවනවා. අන්තිමට එල්ලගෙන එන නැරඹුම් මැදිරියත් ඒකටම දාලා කරකවලා අනිත් පැත්තට හරවනවා.
ඒ මදිවට උඩරට දුම්‍ රිය මාර්ගයේ යන දුම් රිය වලට රඹුක්කනදී තව ඇන්ජිමක් පිටිපස්සට හයි කරනවා. නැත්නම් ඔය කඳු ටික අදින්න තනි ඇන්ජිමකට හයියක් නැහැ.

දැන් කාලේ වගේ දුම් රියේ ලොකු වේගෙකුත් නැහැ. ලතාවකට තමයි ගමන. "උඩරට මැණිකෙට..පට කුඩ දෙක දෙක" කියන තාලයටම තමයි දුම් රියේ ගමනත්.

වේයන්ගොඩ, පොල්ගහවෙල, රඹුක්කන, කඩුගන්නාව වගේ දුම් රිය නැවතුම් පොලවල් වල විනාඩි පහක් දහයක් නතර කරලා තියෙනවා ම තමයි. ඒ වෙලාවට ලඟ තියෙන කඩේකට ගිහිල්ලා උවමනා දෙයක් අරගෙන ආපහු දුවලා එන්නත් පුළුවන්. පුරුදු කාරයෝ නම් අහල පහල තියෙන නිල නොලත් මත් පැන් අලෙවි කරුවන්ගෙන් පොඩි අඩියකුත් ගහලා පිටි අල්ලෙන් කට පිහ දදාත් එනවලු.

රඹුක්කනදී හයි කරන අමතර ඇන්ජිම කඩුගන්නාවෙදි නවතිනවා. ඊට පස්සේ නාවලපිටියෙදී මුලු දුම් රියේම කාර්‍ය මණ්ඩලය මාරු වෙනවා. ඊට පස්සේ අළුත් රියැදුරා, ෆයර්මන්, ගාඩ් මහත්තුරු, මට මතක හැටියට දුම් රිය භෝජනාගාරෙ සේවකයො කට්ටියත් මාරු වෙනවා.

ඒ සේවකයොත් බොහොම ගාම්භීර ආකාරෙට සුදු පාට කර පියවපු කෝට් එකක් ඇඳලා මගීන් එක්ක සුරුස් බුරුස් ගාලා ඉංගිරිසියෙක් කතා කරන හැටි එහෙම නම් මට තවමත් මතකයි.
දැන් කාලෙ වගේ දුම් රිය භෝජනාගාරෙ අතුරු සිදුරු නැතුව සෙනග පිරිලා ගමන් කරන්නේ නැහැ. නිදහසේ කෑමක් බීමක් අරගන්න, ඒවා එතැනම ඉඳන් භුක්ති විඳින්නත් අපූරුවට ඉඩ කඩ තිබුණා. යහමින් චීස් දමපු සැන්විච් පෙත්තක, ගින්දර වගේ හදාපු කිරි තේ එකක මතකය නම් මටත් තවම තියෙනවා.

ආදි කාලෙ ඉතින් ඕවත් අරුම පුදුම දේවල්නෙ. කවුරුහරි කෙනෙක් ඔය වගේ ගිය දුම් රිය ගමණක් ගැන කියද්දී කාටද ආසා හිතෙන්නේ නැත්තේ.
ඉතින් ඔය හීනය සැබෑ කර ගන්න අපේ කතා නායක ඉලන්දාරියාටත් පුදුම ඇම්මක් තිබුණා. අවසානයේදී ඒක ඉෂ්ට කරලා දුන්නේ පොඩි මස්සිනාගේ මල්ලියෙක් උන ඉස්කෝලෙ මහත්තයෙක්.

ඉස්කෝලෙ නිවාඩුවෙදී බදුලු ගමන යන්න යොදා ගත්තා. ඒකට නිදහස් ගමන් බලපත්‍රත් හදා ගත්ත හින්දා ගමන් වියදමත් අඩුයිනේ. ඒ කාලෙ ආසන කලින් වෙන් කරවන්නත් පුළුවන්. උඩරට මාර්ගයේ දුම් රියෙන් යනකොට දකුණු පැත්තෙන් අයිනක් අල්ල ගන්න තියෙනවා නම් මල් මසුරන්. බලන්න දේවල් වැඩියෙන් තියෙන්නේ දකුණු පැත්තෙයි. කඩුගන්නාවෙ කන්ද අදිනකොට පේන භූමි දර්ශණ බලන්න අදටත් කැමත්තක් තියෙන්නෙත් ඒක වෙන්න ඕනෑ. සමහර වෙලාවට වළාකුල් වලටත් උඩින් දුම් රිය යනවා.

කඩුගන්නාව කන්ද නගිනකොටම වගේ සීතල දැනෙන්න පටන් ගන්නවා. එතකොට ඉතින් සමහරු සීතලට අඳින්න ගෙනා ඇඳුම් අඳින්න පටන් ගන්නවා. තලප්පාවල් බැඳ ගන්නවා. කන් වැහින්න තොප්පි දා ගන්නවා. කොහොමටත් ඔය හරියෙදිම කන් දෙකත් අගුලු වැටෙනවා.

ඔන්න ඔය වෙලාවෙදි අර ඉස්කෝලෙ මහත්තයා භෝජනාගාරෙට ගියා. විශේෂ දුම්‍ රිය වල විතරයි පෙට්ටියෙන් පෙට්ටියට මාරු වෙන්නත් පුළුවන්. ඒ කාලෙ දුම් රිය වල පෙට්ටි අතරෙ තියෙන අන්තරයත් වැඩියි. ඒක අස්සෙන් සිල්පර කොටන් පේනකොට මර බයකුත් එනවා. ඒ හින්දා මෙහේ පෙට්ටියෙන් එහා පෙට්ටියට මාරු වෙනකොටත් පපුව ටික් ටික් ගානවා.

ඔන්න ඉතින් අර ඉස්කෝලෙ මහත්තයාටත් සීතල ඇල්ලුවා. ගල්ගමුව වගේ කාෂ්ටක පැත්තක ඉන්න අයට ඒ කාලේ සියනෑ කෝරලෙත් සීතලට දැනුනලුනේ. මෙයා ඉතින් භෝජනාගාරෙට ගිහිල්ලා අර ඉලන්දාරියාටත් දෙහි පෙත්තක් අමුණපු දෙහි බීම වීදුරුවක් ගෙනල්ලා දුන්නා.

අම්මලා ඒ කාලෙ ළමයින්ට දෙහි බොන්න දෙන්නෙත් නැහැ ඇඟේ ලේ පිච්චෙනවා කියලා. ඒ හින්දා මෙයත් වෙනසකටත් එක්ක බීලා දැම්මා. සැරට දැනුනත් බොන්න බොන්න ආසයි. ඉතින් ඇදලා දැම්මා.

බදුල්ලට යනකල් ඔය වගේ දෙහි බීම වීදුරු තුනක් විතර බිව්වා. සීතල කියන නාමයක් නැහැ. රෑ බෝ වෙනකොට කෝච්චිය බදුල්ලට ලඟා උනා.

මේ ගොල්ලන්ව පිළි ගන්න තවත් ඉස්කෝලෙ මහත්තයෙක් දුම් රිය පලට ඇවිල්ලා හිටියා. තුන් දෙනා එක්කම ඒ මහත්තයාගෙ ගෙදරටත් ගියා.

අයිස් වගේ සීතල වතුරෙන් මහ රෑම නාන්නත් උනා. අඟුරු ඇන්ජිමක් හයි කරපු කෝච්චියක ගියාම මගීනුත් බාගෙට කළු වෙනවා අඳුරු දුමාරෙට. වීදුරුවෙන් ඔලුව එළියට දාගෙන ගියොත් හීනි වැලි කැට වගේ අඟුරු කුඩු ඇස් වලටත් යනවනෙ.

නාලා ඉවර උනු ගමන්ම පොල් අරක්කු බෝතලේකුත් සබේට ආවා වල් ඌරු මස් දීසියකුත් එක්ක. කොහොම හරි අර ඉලන්දාරියටත් මේවා සීතලට අපූරුයි කිය කියා බල කර කර පෙව්වා කියන්නකො. එපාම කියද්දී අමාරුවෙන් බතුත් කන්න දුන්නා. වැල්ලවායෙන් ගෙනාව මී කිරියි, ඒ ගොල්ලන්ගෙම කිතුලකින් හදා ගත්ත කිතුල් පැණියි එහෙමත් කෑවා.

නිදියෙන්න ඇඳට වැටුනා විතරයි. අර ඉලන්දාරියාව කැරකෙන්න ගත්තා. ඉලන්දාරියා ඇඳ උඩ. ඉස්කෝලෙ මහත්තුරු දෙන්නා එතැනම බිම පැදුරක් එලාගෙන. උගුරට බ්‍රේක් නැති උනා. උදේ ඉඳන්ම බඩට වැටුන සැන්විචුයි, දෙහි බීමයි, පොල් අරක්කුයි,වල් ඌරු මසුයි, බතුයි, කිරිපැණියි වලින් ඉස්කෝලෙ මහත්තුරු දෙන්නා හොඳට නා ගත්තා.

කට්ටිය ඉතින් කාමරෙත් සුද්ද කරලා ආපහු නාලා පිරිසිදු වෙලා වෙරි බහින්න කියලා දෙහි කෑලි දෙකක් ඔළුවෙයි, යටි පතුල් වලයි උලන ගමන් කතාවක්.

"තමන්ට ඇති තරමට එපායැ බොන්න. මේ කිරි සප්පයින්ට බොන්න දෙනවද ?
අනිත් අය බොන්න කිව්වත් තමන් දැනගන්න එපායැ තමන්ගේ තරමට බොන්න"
අර ඉස්කෝලෙ මහත්තයාගෙ නෝනත් ඇවිල්ලා කියවන්න ගත්තා.

ඔලුව උස්සගන්නත් බැරි තරම් අමාරුවෙන් හිටියත් අර ඉලන්දාරියාගෙ කට නලියන්න ගත්තා.

"සීතලට දිව්‍ය ඖෂධයක් කියලා ඉස්කෝලෙ මහත්තුරු දෙන්නෙක්ම කියලා දුන්න හින්දනේ මමත් බිව්වෙ..!"

කතාව ටිකකට මුලට ගෙනියනවා.
ඒ කාලෙ දුම්‍ රිය භෝජනාගාර වල මත් පැනුත් විකුණන්න තිබුණා. අරක්කු නම් නෙවෙයි. ඩ්‍රයි ජිනුයි, බ්‍රැන්ඩියි. බැදපු කජුත් තිබුණා. විඩින් විඩේ දෙහි බීම කියලා ගෙනල්ලා බොන්න දීලා තියෙන්නෙත් ඩ්‍රයි ජින්ම තමයි.

ඒ ඉලන්දාරියත් පසු කාලෙක ගුරුවරයෙක් වෙලා දැන් විශ්‍රාමිකව ජීවිතයේ සැඳෑ සමය බොහොම සතුටින් සැහැල්ලුවෙන් ගෙවනවා. ඒ මගේ බාලම මාමා "සරත් වෙල්ගම".

සරත් මාමේ...!
මට පොඩි කාලෙ ඉඳන්ම කතා පොත් කන්දක් ගෙනල්ලා දීලා කියවීමේ ආසාව ඇති කරාටයි, ලිවීමේ හැකියාව ඇති කරාටයි ඔයාට බොහොම පින්.

( ඊයෙ රෑ අපි දෙන්නා හීං අඩියකින් සප්පායම් වෙන ගමනුයි මේ කතාව කිව්වේ.)

3 comments:

  1. අඩේ මගෙත් ඔහොම කෝච්චි සීන් එකක් තියනව ලියන්ඩ ඕනා

    ReplyDelete
  2. කමෙන්ට් වලට උත්තර ලියන්න බැරි වෙනවා. ඒ සෙටින් එක හොයා ගන්න බැරි උනා. හෙට විතර හදා ගන්න පුළුවන් වෙයි)

    ReplyDelete