Saturday, April 28, 2018

කදුරු බෝල ක්‍රිකට්

වෙලේ ගොයම් කපලා ඉවර වෙන්නේ කොයි වෙලේද කියලයි පුංචි දවස් වල අපි බලාගෙන ඉන්නේ. ගොයම් කපලා ඉවර වුනු ගමන්ම කුඹුරු යායම ක්‍රීඩා පිට්ටනියක් බවට හැරෙනවනෙ.
ලොකු ලොකු අයියලා කුඹුරු යායෙ තියෙන ලොකුම ලියැද්ද වෙන් කර ගන්නවා. ඒ ගොල්ලො නම් දෑකැති අරගෙන ඉපනැල්ල ආපහු කොට වෙන්න කපලා එල්ලෙ ගහන්න පිට්ටනි හදා ගන්නවා. උණ ගස් දෙකක් කපලා ඒකත් හිටවනවා බනිස් කට්ටිය කියලා.
ඒ අය අතේ නම් අපිටත් වඩා උස එල්ලේ පිති තියෙනවා. ඒ ගොල්ලෝ සෙල්ලම් කරන්නේ ටෙනිස් බෝල වලින්. ඒ සෙල්ලමට නම් කට්ටිය හුඟක් ඉන්නවනෙ. මටත් එතෙන්ට යන්න ආසාව ඉතිරෙනවා. ඒත් කොහොම යන්නද ? ආරක්ෂක ඇමතිනියත් අපේ පස්සෙන් එනවනෙ. ඒ අපේ අම්මා.
අපේ වත්ත පල්ලෙහා තරමක් ලොකු කොහිල කොටුවක් තිබුණා. ඒ එක්කම තුන්හිරියා පන් කොටුවකුත් තිබුණා. මායි අක්කලා දෙන්නයි වෙලට බහිනකොට අම්මා කොහිල කපනවා. නැතිනම් පන් ගලවනවා.අඟහරුවාදා සහ සිකුරාදා අල්ලපු ගමක පොළ තියෙනවා. ඒකට ගමේ ගොඩේ හැදෙන එළවලු එකතු කරන් යන්න එන කට්ටිය හිටියා. ඒ අයට විකුණන්න අම්මා කොහිල කපනවා.ඒ හින්දා සඳුදා සහ බ්‍රහස්පතින්දා දවස් වලට අපිටත් ඉපනැල්ලේ නටන්න වාසනාව ලැබුණා.
කොහිල දළු කපලා මිටි බඳින්නෙත් අම්මා. ඒ වැඩේ ඉවර වෙන්න පැයක් හමාරක් යනවා. ඒ වෙලාවට අපිත් වෙලේ නටනවා.
කොහිල කොටුවට හෙවන දෙන්නේ දිය කදුරු වැටියකින්. ඒ ගස් වලින් හෙවන විතරක් නෙවෙයි. කොහිල කොටුවට ඕනෑ කරන කාබනික පොහොරත් නොමිලේ ලැබෙනවා. ගොයම් පාගලා ඉවර උනාම ඉතුරු වෙන බොල් වී ඇටයි,වී කාටුවයි දාන්නෙත් කොහිල කොටුවටම තමා.
පොල් පිත්තකින් හදා ගන්න බැට් එකට හරියන පාට පාට බෝල ඇති පදම් තියෙනවා කදුරු වැටිය යට. ඒ කදුරු බෝල ටිකකුත් එකතු කරගෙන වෙලට පැන්නහම ඉතින් අපිටත් ක්‍රිකට් වසන්තය තමයි.
ලොකු අක්කා නම් ඒ කාලෙත් ටිකක් පිළිවෙලට ඉන්න නිසා ක්‍රිකට් ගහන්න එන්නෙ නම් නැහැ. එයා හැමදාම අම්පයර් ම තමා.වෙන අම්පයර්ලාඉන්නෙ පිට්ටනිය ඇතුලෙනෙ. මේ අම්පයර් නෝනා නම් ඉන්නෙ නියර උඩ.ඉපනැල්ලට එයාගෙ සිරිපතුල් දෙක කැපෙනවලු නෙ.
මායි පොඩි අක්කයි තමා මාරුවෙන් මාරුවට බෝලරු යි, බැට් මනු යි වෙන්නෙ. අපිම තමා බෝලෙ අහුලන්නත් දුවන්නෙ. මේ කාලෙ වගේ කම්බයින් හාවෙස්ටර් තිබුනෙ නැති නිසා ගොයම් කපන්නෙ කරලට කිට්ටුවෙන් විතරයි. ඒ නිසා ඉපනැල්ලත් උසට උසයි.
අම්මගෙ රාජකාරිය ඉවර උනාම අපි යනවා අත්තනගලු ඔයේ නාන්න. ඒ නාන තැනට කියන්නේ වැල්ල මුල්ල කියලයි. එතැනම ඔය වංගුවක් ගන්න හින්දා අපි නාන තැනට ඉස්සරහින් වක්කලමක් තිබුණා. එතැන අලියෙක්වත් පොවුවන්නෙ නැති තරම් ගැඹුරුයි කියලා අපිට ඒ පැත්ත තහනම් කලාපයක් කරලා තිබුණා. ඒ මදිවට එතැන ලංගම බස් එකකටත් වඩා ලොකු, අපේ රතු ගොන් නාම්බවත් එක කටට ගිලින්න පුළුවන් වෙන කිඹුලෙකුත් ඉන්නවලු නෙ. ඒ හින්දා අපි නාන්නේ බාල්දියකින්. අම්මා නම් ඒ වක්කලමට උඩින් පීනලා එනවා. ඒ තඩි කිඹුලා අම්ම දිහා ඇහැක් ඇරලා බලන්නෙ නැත්තෙ අපේ අම්මගෙ තියෙන වස ඌත් දන්න නිසා වෙන්නත් ඇති.
නාලා ගොඩට ආවහම සීතලයි. එහෙම හීතල දැනෙන්නේ මැදින් මාසෙ පෑවිල්ල හින්දා ඔයේ වතුර කැකෑරිලා තියෙන හින්දා වෙන්නත් ඇති.
නාලා ඉවර උන ගමන්ම අපි දුවන්නේ කුස්සියට. නෑව ගමන්ම එන හීතලට කෝපි හදාන බොන්න එහෙම නෙවෙයි. ලුණු පොල්කට්ට හොයාගෙනයි අපි දුවගෙන එන්නේ. ලුණු වතුර අල්ලක් කකුල් වල අතුල්ල ගත්තහම කැසිල්ල අන්තරස්දාන වෙනවා.
ඒ කාලෙ අපි කදුරු බෝල, පොල් පිති බැට්වලින් ක්‍රිකට් ගහනකොට ගත්ත සතුට දැන් කාලෙ ළමයින්ට ලැබෙන්නේ නැහැ. ඒ අත්දැකීම වින්දෙ නැති ළමයින් ගැන නම් දුකත් හිතෙනවා.
ඒ ළමයින්ටත් කලින් පිට්ටනි වලට දුවන්නෙ අම්මලා නෙ. ඒ අයටත් තව  තව වැඩනෙ. තමන්ගෙ ළමයා සෙල්ලම් කරලා ආපහු එනකොට ටී වී එකේ පෙන්නන කෑම බීම ජාති එහෙම හදලා  දෙන්නත් එපායැ. නැත්නම් කොහොමද එයාලා ක්‍රිකට් තරු වෙන්නෙ.

3 comments:

  1. සීයේ කතා දානකොට එක දවසෙම ඔක්කොම දාන් නැතුව දවස් දෙහෙකට පාරක් විතර දාන්න

    ReplyDelete
  2. කෝ 3 ? මේ දැම්ම මේ නැ ....

    ReplyDelete