Saturday, July 21, 2018

දිරන්න දෙමුද , ගෙවෙන්න දෙමුද



අපි බොහෝ දෙනාගේ ගෙවල් වල මහන මැෂින් තියෙනවා.
අපේ ගෙදරත් මහන මැෂින් තුනක්ම තියෙනවා.

ඉන් එකක් මම බඳින්නත් කලින් බිරිඳගේ උපන් දිනේකදී එයාට තෑගි කරපු එකක්.
තවත් එකක් පසු කාලෙකදී අපිට තෑගි ලැබුණු එකක්.

අනිත් එක නම් ගොඩක් ම පරණ එකක්.
ඒක අපේ තාත්තා අම්මව බඳින්නත් කලින් තාත්තා අම්මට තෑගි කරපු එකක්.

මුලින්ම කිව්ව මහන මැෂින් දෙක නම් පාවිච්චි නොකරම දිරලා.

ඒත් අපේ අම්මා පාවිච්චි කරපු මහන මැෂින් එක නම් පාවිච්චි කරලා වැඩි වෙලාම ගෙවිලා ගිහිල්ලා.





අති නවීන පන්නයේ නොවුනත් ඒ පරණ මැෂින් එකෙන් එම්බ්‍රොයිඩර් කරපු කොට්ට උරයක්, මේස රෙද්දක් එහෙම තවමත් අම්මාගේ අල්මාරියේ තියෙනවා.

ඒ විතරක් නෙවෙයි.
කවදාහරි මැරුණු දිනයක අන්දවන්න කියලා මීට අවුරුදු විස්සකට විතර කලින් එයාම මහගත්ත ඇඳුමකුත් ඒ අල්මාරියේම තියෙනවා.

එක දිගටම අවුරුදු ගණනාවක්ම ඇඳුම් මහපුවාම ඒ මැෂින් එකේ කොයි තරම් කොටස් ගෙවිලා ගියාද ?
ඒත් අම්මා ඒ ගැන දුක් වෙන්නේ නැතුව විඩින් විඩේ අළුත්වැඩියා කර කර ඒකෙන් එක දිගටම ඇඳුම් මැහුවා.

අපි සෑහෙන්න ලොකු මහත් වෙනකල්ම අපේ ඇඳුම් ඔක්කොම මැහුවේ ඒ මැෂින් එකේ.
ඒ හින්දා අපිටත් අපේ ඇඳුමක් මහ ගන්න තරම් දැනුමක් ලැබුණා. පොඩි රෙදි කෑල්ලක්වත් අහක දාන්නේ නැතුව ඒවයිනුත් මොනවා හරි දෙයක් මහගන්නත් පුරුදු වුණා.

ඒත් අර අති නවීන මැෂින් දෙකම අහු මුළුවල දිරනවා.
එකක් ගබඩා කාමරේ කෑලි හැලෙනවා.
අනික කබඩ් එකක් ඇතුලේ ඔහේ තියෙනවා.
කාටවත් දෙන්නත් ලෝබයි.

එහෙම දෙන්න ඇහුවොත් කියන්නේ "ඕවා ඔහොම තියෙන්න අරින්නකො. ඕවා උස්සගෙන ඉන්නවයැ" කියලයි.
ඉතින් ඒවා ඔහේ දිරනවා.

අපි ලේන්සුවේ,කොට්ට උරේ ඉඳන් හැම එකක්ම නිමි ඇඳුම් හැටියට වැඩි මිළක් දීලා අරගන්නවා. එහෙම අරගෙන ආඬපාලිත් කියනවා. අත ලොකුයි, ඉණ හිරයි, බාජ්ජුවක් වගෙයි වගේ කතා ගොඩයි.

ඒත් ජීවිතේ විශේෂම අවස්ථා වලදී අඳින ඇඳුම නම් කඩෙන් ගන්නේ නැතුව මස්සවා ගන්නවා.
ඒකනේ අපේ නෝනලා සාරිය කඩෙන් ගත්තට ජැකට් එක වැඩි ගානක් දීලා හරි මස්සවා ගන්නේ.
එහෙම මහගත්තොත් තමයි ඇඳුමේ වගේම ඇඟේ පෙනුමත් හැඩට එන්නේ.

පිරිමි අපිත් කලිසම් කමිස රෙඩි මේඩ් වලින් ඇන්දට මගුල් සූට් එක නම් ටේලර් සාප්පුවකින් මස්සවා ගන්නවනේ.

ඉතින් ඒ වගේ හැඩට අඳින්නත් ටිකක් මහන්සි වෙන්න ඕනෑ.

හිතලා බැලුවොත් අපේ ජීවිතත් ඒ වගේම තමයි.

හරියට ප්‍රයෝජනයක් ගන්නේ නැත්නම් අර මැෂින් වගේ ඔහේ ගෙවෙනවා විතරමයි.

ටිකක් වෙහෙස මහන්සි වෙලා දුක් කරදර විඳලා ජීවිතේ ගොඩ දා ගන්නකොට සමහර සුව පහසුකම් අහිමි වෙනවා තමයි.

ඒත් ආපස්සට හැරිලා බලනකොට එහෙම අහිමි වුණු දේවල් වලට වඩා වැඩි යමක් අපි ජීවිතේට එකතු කරගෙන තියෙනවා කියලා සතුටු වෙන්න පුළුවන් වෙනවා.

ඒ ගැන හිතපුවාම ලැබෙන සතුට නම් අපිම දුක් මහන්සි වෙලා නිමා කරපු එම්බ්‍රොයිඩර් ගෙත්තමක් දිහා බලලා ලබන සතුටටත් වඩා ගොඩක් වැඩියි.

ඉතින් දැනටත් අපේ ජීවිත කාලෙන් වැඩි කාලයක් ගෙවිලා ඉවරයි. කොයි වෙලේ ආපහු යන්න වෙනවද කියලා අපි කාටවත් හිතා ගන්නවත් බැහැ.

ඉතින් ඒ ඉතුරු වෙලා තියෙන ටික කාලයත් අපේ ජීවිතය ඔහේ දිරන්න ඇරලා නිකන්ම ඉම්මු ද ?

එහෙම නැත්නම් පුළුවන් තරම් වැඩ කරලා ජීවිතය ගෙවෙන්න දීලා සතුටින් ඉම්මු ද ?

තීරණය ඔබේ අතේ.




Tuesday, May 22, 2018

දීගෙක යන නැගණියන්ට


සචිත්‍රා ඇගේ පෙම් සටන ජය ගත්තා.

සචිත්‍රා අරවින්ද එක්ක පෙම් සබඳතාවයක් පටන් ගත්තේ සරසවියට ඇතුල් වුනු පළමු වසරේදිමයි.

ඒ වෙනකොට අරවින්ද අවසාන වසරේ ඉගෙනුම ලබන්නේ. අහම්බෙකින් වගේ මේ දෙන්නා මුණ ගැසුනේ පොත් සැලක් ඇතුලෙදි.

ඒ හමුවීම ගොඩක් දුර දිග ගියා.

අරවින්ද පවුලේ එකම පුතා. මෙයාලගෙ තාත්තා අරවින්දවයි අම්මවයි දාලා මිය පරලොව ගියේ අරවින්ද පුංචි කාලෙදිමයි. එදා ඉඳලා අරවින්දව ලොකු මහත් කරන්න අරවින්දගෙ අම්මා ගොඩක් දුක් වින්දා.

රැයක් දවාලක් නැතුව ඇඳුම් මහලා, කෑම වර්ග හදලා කඩවල් වලට දාලා, එළවලු පාත්ති ටිකකුත් දමාගෙන ජීවිතේ ජයගන්න පුදුමාකාර ධෛර්යයෙන් අරවින්දගෙ අම්මා, විනීතා වැඩ කටයුතු කරා.

අරවින්දත් හරි හරියට අම්මා එක්ක ජීවිතය ජය ගන්න පොර බැදුවා.
විශ්ව විද්‍යාලයේදිවත් පෙම් සබඳකමක් ඇති කරගන්න අරවින්ද උනන්දු වුනේ නැත්තෙත් ඒකයි. අවසානෙදී සචිත්‍රා මුණ ගැහුනහම නම් අරවින්දගේ හිත වෙනස් වුනා.

සචිත්‍රා යමක් කමක් තියෙන පවුලක බොහොම සැපවත්ව හැදුණු තරුණියක්.ඇය විශ්ව විද්‍යාලයට ගියේ ඉගෙන ගෙන රස්සාවක් කරන්න එහෙම නෙවෙයි. ගෙදරට වෙලා ඉන්න කම්මැලි කමට.

මේ සම්බන්දෙට නම් දෙපැත්තෙන්ම විරුද්ධ කම් ඇති වුණා. මේ වෙනකොට අරවින්ද නම් පරිපාලන සේවයට ඇතුල් වෙලා ගමට කිට්ටුවම රජයේ ආයතනයක වැඩ කරනවා.
ඒ වුනත් පවුල් මට්ටම ගැලපෙන්නේ නැහැනෙ.

සචිත්‍රාගෙ පදිංචිය අගනුවරට ඉතා නුදුරු බත්තරමුල්ලේ. සචිත්‍රාට දෙන්න කියලා එයාගෙ තාත්තා නුගේගොඩ නගරාසන්නයෙන් අලුත්ම ගෙයක් හදලා ඉවරයි.

අරවින්ද ගම්පොලටත් එහා කොත්මලේ කිට්ටුව. අරවින්දට අම්මව තනියම දාලා අගනුවරට පදිංචියට යන්නත් බැහැ. සචිත්‍රාව කොත්මලේට එවන්න එයාගෙ දෙමවුපියෝ කැමතිත් නැහැ. ඒ කාරණා හින්දා මේ සම්බන්ධය අතහරින්න මේ දෙන්නම කැමතිත් නැහැ.

අවසානයේදී දෙපැත්තම යාන්තමට කැමති කර ගත්තා කොන්දේසි ගොඩකට යටත් වෙලා. සචිත්‍රා අරවින්දගේ ගෙදරට පදිංචියට යනවා. එහේ ඉන්න බැරි තත්වයක් ආවොත් දෙන්නම නුගේගොඩ පදිංචියට එනවා.එතකල් නුගේගොඩ නිවස බද්දට දෙනවා.

අරවින්දගෙ අම්මට නම් බයකට තිබුණේ සචිත්‍රාට මේ පරිසරයට පුරුදු වෙන්න බැරි ම වෙයි කියලා. නාගරික පහසුකම් එක්ක සැපට හැදුනු මලක් වගේ දරුවෙක්නෙ.

මෙහෙ ගෙවල් වල නම් නිතර දෙවේලෙ කට්ටිය ගැවසෙනවා. ගේ ඇතුලෙත් හැම තිස්සෙම ලමා ලපටි පිරිලා. චීත්තයක් මූට්ටු කරගන්න, හැට්ටයක් මහ ගන්න, දැරිවියකට ගවුමක් මහ ගන්න එන වත්තෙ ගැහැනුන්ගෙනුයි
ඒ අයගෙ ළමා ලපටින්ගෙනුයි අඩුවක් නම් නැහැ. ඇහිල්ලක් බැලිල්ලක් නැතුව නිදා ගන්න කාමර වලටත් එබෙනවා නොවැ.

කොහොමින් හරි මංගල්ලේ ජයටම කෙරුණා අගනුවර ලොකු හෝටලේක.
ඒ තාලෙට ගැලපෙන නෑදෑයො අරවින්දට නැති උනාට අරවින්දගෙ යාලුවන් නිසා ඒකෙ අඩුවක් දැනුනෙම නැහැ. සමදරාට නම් මගුල් ගෙදර වෙලෙත් හිතේ ගින්න. ලේලිගෙ කොළඹ මෝස්තර අපිට ගැලපෙන්නෙම නැහැ නොවැ.

දෙවෙනි ගමනෙ උත්සවේ යෙදිලා තිබුණේ ඉරිදා දවසක. ඊට කළින් දවසේ
අළුත් ජෝඩුව මහනුවර හෝටලයක නැවතුනා. පහුවදා උදෙන්ම මනමාලිව බොහොම අලංකාරෙට හැඩ කරේ සුචිත්‍රාගේ නෑදෑයො වෙන රමණී අක්කා.

මනමාලිව හැඩ කරන ගමන් රමණී සුචිත්‍රාට ඉස්සරහට ජීවත් වෙන්නේ කොහොමද කියලා සුචිත්‍රාට පාඩමක් කියලා දුන්නේ බොහොම සැහැල්ලුවෙන්.

"ඔයා දැන් අරවින්දගෙ අම්මගෙන් අරවින්දව උදුරාගෙන නේ තියෙන්නේ.
ඉතින් ඒ අම්මට හිතට දුකක් එයි ඔයා අරවින්ද එක්ක නිතර නිතර ඇලිලා ඉන්නවට. අරවින්ද එයාට තියෙන ආදරේ තව කෙනෙකුට බෙදිලා යනවා බලන්න කැමතිත් නැහැ නෙ.

"එතකොට තමා පහු කාලෙදි ගොඩක් ප්‍රශ්ණ ඇති වෙන්නේ. "

"ඒ හින්දා ඔයා ඒ දෙන්නගෙ තියෙන බැඳීම එක පාරටම කඩන්න යන්න එපා."

සුචිත්‍රා ඔළුව පාත් කරගෙන අහගෙන ඉන්නවා.

"ඒ ගෙදර පුරුදු වෙලා තියෙන විදිය ඔයා එක පාරටම වෙනස් කරන්න යන්නත් එපා."

"අරවින්ද උදේට ඇහැරුනාම තේ එක හදලා දෙන්නේ අම්මා නම්, ඒක එක පාරටම ඔයා කරන්න යන්න එපා."

"ඔයා උදෙන්ම ඇහැරිලා අරවින්ද ගෙ අම්මට "තේ හදන්න කුස්සියට යමු" කියලා කතා කරන්න. "

"ඊට පස්සෙ එයා තේ හදන විදිය බලා ගෙන ඉන්න. ඔය කෝප්ප ටික මැදලා දෙනවා, ලිපට ගින්දර ටිකක් දාලා දෙනවා වගේ සුළු වැඩ ටිකක් කරලා දෙන්න."

"ඒවාට ගන්න උපකරණ ටිකත් එයාගෙන්ම අහලා දැනගන්න. අරවින්දගේ අම්මා එයාට බොන්න හදා ගන්න හැටිත් හොඳට බලා ගන්න. "

"තේ හදලා ඉවර උනාම අරවින්දට තේ එක ගෙනියන්නේ කොයි විදියට ද
කියල ත් අහ ගන්න.
හැබැයි එයාටම ඒ තේ එක ගෙනියන්න කියලා කියන්න."

"තේ හදලා ඉවර උනාම ඒකට ගත්ත තේ ගොට්ට ඉඳන් ඒවා තිබුණු තැනින්ම තියන්න. සමහර වෙලාවට ඒවා තියලා තියෙන්නේ එයාගෙම පහසුවට නෙ.
ඒ පිළිවෙල ඔයාට කොයි තරම් කරදරයක් උනත් දවස් කීපයකින් ඔයාට කුස්සියේ විතරක් නෙවෙයි. මුළු ගෙදරම පූර්ණ බල තල නිසැකයෙන්ම ලැබෙනවා."

"ඔයා අරවින්දගෙ අම්මාට කීකරුයි කියලා දැන ගත්තහම ඒ අම්මා ඔයාටත් පූර්ණ නිදහස ලබලා දෙනවා."

"තව තව ගොඩක් දේවල් තියෙනවා කියන්ට.. ඒත් ඉස්සෙල්ලම තේ එකකින් මේ කතිකාව පටන් ගන්න එක හොඳයි නොවැ."

"අපේ නැන්දම්ම ගෙ පණ ගියෙත්
මෙන්න මේ අත් දෙක උඩ තමයි නගෝ."

"වෙන දරුවෝ හතර පස් දෙනෙක් හිටියත් මගේ නැන්දම්මට මාව නැතිවම බැරි වුනා."

"ඔයාගෙ කතාව නම් සහතික ඇත්තයි දුවේ " කියාගෙනම කාමරයට ඇතුල් වුනු සුචිත්‍රාගෙ තාත්තා, ආනන්ද මුදලාලි දිව්‍යාංගනාවක් වගේ හැඩ වෙලා ඉන්න තමන්ගෙ පුංචි සුරංගනාවි දිහා කඳුළු පුරවගෙන බලා ගෙන හිටියා.

ඒ කඳුළු පිරුනේ සතුටට ද , දුකට ද කියලා රමණිට වත්, සුචිත්‍රාට වත් හිතා ගන්න නම් බැරි වුනා.

Sunday, May 20, 2018

හත් දවසේ පින්කම



අද දවස පුරාම ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව සමග එක දිගට පිපිරී ගිය අකුණු නිසා හවස් වරුවේ සිතා මතා නිදාගත්තේ පාන්දර දුටු සිහිනයේ ඉතිරිය පෙනේවා යැයි සිතමිනි. සිහිනය පෙණිනි. එහෙත් එය පෙණුනේ බලාපොරොත්තු වූ ආකාරයෙන් නොවේ.

වාරණ මණ්ඩලයේ කතුරට හසු වූ වැඩිහිටියන්ට පමණක් පෙන්වීමට කිෂ්පාදනය කළ චිත්‍රපටයක් කපා කොටා අවසානයේ ළමාචිත්‍රපටයක් වූවා සේය. අවසාන කටයුතු සිදු කෙරුණු අවස්ථා සියල්ල කැපී ගොසිනි. හත් දවසේ පින්කමෙන් එය පටන් ගැණිනි.

සියළුම දෙනා කලබලයෙන් නොයෙකුත් වැඩ කටයුතු වල නියැලෙති. උත්සව භාණ්ඩ සපයන ආයතනයක සේවකයින් විසින් විශාල තහඩු ආවරණ දෙකක් සවි කරමින් සිටිති. ඒවා අති විශාලය. තහඩු නොපෙනෙන සේ වියන් යොදා ඇත. අල්ලපු ගමේ වෙසෙන ලයිට් දමින්ද ඔහුගේ ගෝලයින් දෙදෙනෙකු සමගින් විදුලිය සපයමින් සිටියි.

විශාල ප්‍රමාණයේ ෆ්ලෑෂර් හත අටක්ම සවි කර ඇත. තහඩු ආවරණ වලට විදුලි බුබුලු සවි කරන්නේ වියනෙහි ඇතුල් පැත්තෙනි. මාස තුනකින් විදුලි බිල නොගෙවීම නිසා රතු නිවේදනය ලැබී සතියක් ඉක්ම වී ගොසිනි. කොහොමටත් පසු ගිය දින වල අපගේ නිවසේ ඇති විදුලි බුබුළු, විදුලි උපකරණ ආදියද නොකඩවා පාවිච්චි කිරීම නිසා මේ වන විටත් විදුලි බිල රුපියල් දහ දොලොස් දාහක් වී ඇතිවාට සැක නැත.

ගොක් අතු ආරුක්කුවක් සෑදීම අත්‍යාවශ්‍ය බව ගමේ පොදු කටයුතු වලට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වන ධර්මෙ අයියා එක හෙලාම කී නිසා ගොක් අත්තක් කප්පවා ගැනීමට පොල් ගස් යන කෙනෙකු සෙවීමට ගම පුරා ඇවිද්ද ද ඒ සඳහා ගමේ ගස් නැගීමට සිටින හොර පොල් කැඩීමේ කප්පිත්තන් පස් දෙනාම එම ඉල්ලීම නොයෙකුත් හේතු කියා ප්‍රතිකේෂ්ප කළහ.

එසේ වුවද මාගේ අවමගුල පැවති සමයේ මගේ ඉඩමේ පහළට වන්නට ඇති සියළුම පැළ ගස් වල පොල් හොර රහසේ කඩා ගත් බව වඩාත් හොඳින් දැක්කේද මා පමණක් වන්නට ඇත. ගහේ අත්තක් හෝ නොසෙලවෙන්නට පොල් ගසට බඩ ගානා ඔවුහු පොල් වල්ල කපා කලවය උඩින් තියාගෙන ගසට නොදැනෙන්නට බැසීමට මනා හැකියාව ඇත්තවුන් ය.

අවසානයේ සිදු වූයේ ගම්පහ නගරයේ තිබෙන තොවිල් බඩු කඩයෙන් රුපියල් 800/=කට ගොක් අත්තක් මිළ දී ගැනීමටය. එතැන විකිණීමට නැති දෙයක් නොමැති තරම් ය. දෙහි ගැටයේ සිට පුහුල් ගෙඩිය දක්වා ගෙඩි වර්ග ද, කළාඳුරු අලයේ සිට කොඬොල් අලය දක්වා අල වර්ග ද, පාට තුනේ එළු පැටවුන් සහ තනි පාට කුකුළන් ද එම තොවිල් බඩු කඩ වලින් මිළ දී ගත හැකි අතර මල පෙරේතයන් සහ කුම්භාණ්ඩයන් නොමිලේ ම ලබා ගත හැක. මාතරින් කට්‍ටඬියන් සැපයීම සහ මැණික්හින්නෙන් වල්ලිලා සහ විල්ලියාලා සැපයීම ඔවුන් විසින් සිදු කරන අමතර සේවාවන් අතර වේ.

ගොක් අතු ආරුක්කුව පී වී සී බටයක ආධාරයෙන් ගේට්ටු කණුවල ඇටවූ ඔවුන් මා හට බණ ඇසීම සඳහා නිවසෙන් පිටත හතරැස් කොටුවක් වෙන් කර එය වටා ද ගොක් කොළ එල්ලා වෙන් කළ අතර එතැන සිටි පියසේන උපාසක තැන පැවසුවේ මිය ගිය අයගේ ආත්මය මළ පෙරේතයෙකු මෙන් එතැන ඉඳගෙන කෑමෙන් බීමෙන් සන්තර්පණය වී බණ අසා එම පිණ පාර්සල් කරගෙන වෙනත් ස්ථානයක ඉපදීම සඳහා නික්ම යන බවය.

කුස්සිය පැත්තේ එකම කළබලයකි. බණ ඇසීමට පැමිණෙන අයට තේ මේසයක් පිළිවෙළ කිරීමට සියළු දෙනා ලහි ලහියේ කටයුතු කරති. එක නෑනා කෙනෙකු ගෙනා පොල් කේක් තැටියද තවත් නෑනා කෙනෙකු ගෙනා බටර් කේක් තැටියද බැළලියගෙන් ආරක්ෂා කිරීම සඳහා එක නැන්දා කෙනෙකු පොල් අග්ගිස්සක් අතැතිව බලා සිරින්නේ සතුරු කඳවුරක් නිරීක්ෂණය කරන හමුදා සෙබලෙකු සිහි ගන්වමිනි.

බල්ලන් තිදෙනාම දම්වැල් දමා ගැට ගසා ඇත. පෙර වෛරයක් පිරිමැසීමට මෙන් ගෙදරට එන කාන්තාවන් තෝර තෝරා හපා කන බැල්ලිය බිම වැතිරී දත්මිටි කමින් බලා සිටියි. මහ පාන්දරක හෝටලයෙන් නික්ම යන කාන්තාවකට බුරා පැණීම නිසා කෝපයට පත් වූ ඉස්සරහා හෝටලය බලා ගන්නා හාදයා ගඩොල් බාගයකින් ගසා උගේ කකුල කැඩූ පසු ඌ සිතන්නේ අපගේ ගෙදරට එන සියළුම කාන්තාවන් හෝටලයේ සිට එන බව කියා වන්නට පුළුවන.

කිසිම දිනෙක පාවිච්චියට නොගත් පිඟන් කෝප්ප සහ වීදුරු බඩු වලට මෙදින වත් එළි පහළියට පැමිණීමේ අවස්ථාව අහිමි වී ගියේ අවශ්‍ය සියළුම බඩු භාණ්ඩ කේටරින් සමාගම මගින් ම සපයා ඇති බැවිනි. මළ ගෙදර වෙලාවේ ලැබුණු බිස්කට් පෙට්ටි සමග තිබූ එකම වේෆර්ස් බිස්කට් පෙට්ටිය සහ කස්ටඩ් ක්‍රීම් පෙට්ටි දෙක තෝරාගෙන පැමිණි තවත් නෑනා කෙනෙකු කීවේ ගෙනෙන්නන් වාලේ මාරි බිස්කට් පමණක්ම ගෙනෙන්නේ නැතිව චොකලට් බිස්කට් පෙට්ටියක් ගෙනාවා නම් අත කැඩෙනවාද යන්නයි.

ඇය අපේ ගෙදරට එන සෑම විටම අඩු තරමින් විස්සේ බිස්කට් පැකට් එකක්වත් නොගෙනෙන්නේ එසේ අත කැඩෙනවාට බිය නිසා විය හැකිය.

නිවසේ පසුපස වෙනම මඩුවක් ගසා ඇත. වෙනදාට මේ පැත්තට වැරදිලාවත් කොයන කාන්තාවන් සියල්ල පසු පස බරාඳයට වී සිටින්නේ මාගේ මරණයෙන් පසුව සිමෙන්ති බෙදීම නතර වී ඇති නිසා එතැන නවාතැන් ගෙන සිටි නාට්ටාමිලා දෙපල හීන් සීරුවේම මාරු වී කොළඹ ගබඩාවක සේවයට වාර්තා කර ඇති නිසාය.

රියැදුරන් දෙදෙනා නම් තවමත් රැඳී සිටින්නේ ඔවුන්ගේ මාසික පඩිය තවමත් නොගෙවූ නිසා විය යුතුය.
ඔවුන් දෙදෙනා කුස්සියේ සිටින කාන්තාවන්ට ව්හිළු සපයමින් , යාන්ත්‍රික හිරමණයකින් පොල් ගා දෙමින් සහ බත් සාස්පාන් සහ ව්‍යාංජන ඇතිලි ඔසවා දෙමින් තම පුරුෂ බල පරාක්‍රමය පෙන්වා දෙමින් සිටිති.

ක්‍රමක්‍රමයෙන් රෑ බෝ වූ අතර බණ කීමේ වේලාවද ලං වෙමින් තිබිණි.

සාලයේ කෙළවරක බණ කීම සඳහා ආසනයක් සකසා තිබූ අතර එම ආසනයට එලා තිබුණේ අම්මා සිල් ගැනීමට යන විට ඇඳගෙන ගිය සුදු රෙද්දකි. ඉදිරිපස මේසයට එළා තිබෙන්නේ මාගේ ප්‍රිය බිරිඳ ඇගේ ආච්චි අම්මාගේ අම්මා විසින් ගෙතුවා යැයි කියා නාග මාණික්‍යයක් ලෙසින් පරිස්සම් කර ගෙන සිටින ස්වකීය මවු පරපුරේ අභිමානය සංකේතවත් කරන මේස රෙද්දයි.

එය මත ටයිම්පීස් ඔරලෝසුවක් සහ අලංකාර කැටයමකින් යුක්ත වූ වතුර වීදුරුවකි. බණ කියන හාමුදුරුවරු ඇල් වතුර වළඳන්නේ නැති බව අමතක වී ඇති හැඩය. අනෙක් අතට ටයිම්පීස් ඔරලෝසු අවශ්‍යවන්නේ බණ කියන හාමුදුරුවන්ට නොව බණ අසන්නට ආරාධනා කරනා ඥාති මිත්‍රාදීන් හට කලට වේලාවට බණ අසන්නට ඒමට වේලාව මතක් කිරීම සඳහාය.

නැවත වරක් ඉදිරිපසට පාවී ආවෙමි. මුළු වත්තම විදුලි ආලෝකයෙන් ඒකාලෝක වී ඇත. අවශ්‍ය නම් දිවා රාත්‍රී ක්‍රිකට් තරඟයක් පැවැත්වීමටද පුළුවන.
සියළුම පුටු වලට සුදු පාටින් කවර දමා ඇත. විට වට්ටි කීපයක් එක පෙළට තබා ඇත්තේ බුලත් විටක් සපමින් බණ අසන විට නින්ද නොයන නිසා විය යුතුය. ගෙවල් ඇතුලේ බණ අසනා ස්ත්‍රී පාර්ශවය දෙව්දත්තෙර පණ පිටින් අවීචියට ඇද වැටුනු බව අසා සාදුකාර දෙන්නේද ඔවුන් හට නිවස තුල සිට බුලත් විට කෑමට පහසුකම් සලසා නැති නිසා වන්නට පුළුවන.

අමුත්තන් එකා දෙන්නා පැමිණෙන්නේ අවාරයට පොල් වැටෙනවාක් මෙනි. බිරිඳ සහ මාගේ සහෝදරිය ඉදිරිපසට වී පැමිණෙන අමුත්තන් පිළි ගනිති. ඔවුන්ට සහාය වන්නේ පුංචි අම්මාය.
සමීපතම ඥාතීන් සහ හිතවතුන් හැරුණු විට අන් කිසිවෙක් මාගේ බිරිඳ හඳුණන්නේ නැත. ඒ ඇය එලි පහලියට නොපැමිණෙන බැවිණි. ගම්වාසීන්ගේ බණ පින්කම් ආදියට මාවම තල්ලු කර යවන බැවින් ඇයට ඔවුන්ව හඳුණා ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේද නැත.

ඇයට තබා ගමේ වත්මන් පරම්පරාව මා හට හඳුණා ගැනීමට ද අසීරුය. ඒ ඔවුන් බණ ගෙදරකට එන විට ද නා නා ප්‍රකාර වත්සුනු ආලේප කර පැමිණෙන නිසාය.

පැමිණෙන සියල්ලම ගේ ඇතුලට ගොස් තේ මේසය ළඟින් වාඩි වී කැවිළි කා ඉඟුරු තේ බොති. වැඩිපුර නොකන්නේ බණ ඇසීමෙන් පසු බත් කෑමටද ඇති නිසාය. ඉන් අනතුරුව කාන්තාවන් ගේ ඇතුලේම රැඳෙන අතර පිරිමින් එළියේ පනවා ඇති ආසන වල ලැගුම් ගනිති. එසේ වුවද ජනේලයෙන් පිටත බැලූ කල බණ කියන හාමුදුරුවන්ගේ නෙත් මානයෙන් පිටතින් සිටීමට ඔවුන් වග බලා ගනිති.

වේලාව සවස හතට ආසන්නය. වැඩිහිටි පණ්ඩිතයින් දෙදෙනෙක් කලින් පිළියෙල කරන ලද පෙරේත කොටුව තුල ප්ලාස්ටික් පැදුරක් එලා එතැනින් කොට්ටයක්ද තබයි. කොට්ටය තොවිල් කඩයෙන් මිළ දී ගත්තකි. එහි පුළුන් නැත. පැරණි රෙදි පාංකඩ සහ අහක දමන ස්පොන්ජ් තීරු උපයෝගී කර ගනිමින් එය පුරවා ඇත. ඒ මදිවාට එය කීප වාරයක්ම තොවිල් බඩු කඩය, පෙරේත කොටු සහ පන්සල අතර දූත චාරිකා වල නියැලී ඇත. ඒ නිසා එම කොට්ටය පින් ගන්නට ආසාවෙන් සිටිනා මල පෙරේත පෙරේතියන්ගෙන් ඕවර්ලෝඩ් වී ඇත.

ගෙදර තිබෙන පැරණිම පිඟානකට කොත ගැසූ බත් පතක්ද කට පළුදු වී ගිය වීදුරුවකට වතුර එකක්ද කොටුව මැදින් තැබූ ඔවුන් එම කෑම එක කා වතුර වීදුරුව බී එම කොට්ටය උඩින් ඉඳගෙන බණ අසා අවසානයේ පින් ලබාගෙන වෙනත් ස්ථානයක උපදින සේ මාගෙන් ඉල්ලා සිටියහ.

මම රෑට බත් කන්නේ නැති බව ඔවුන් නොදන්නවා විය යුතුය. කොන්දේ අමාරුවක් සදී ඇති නිසා කිසි සේත්ම බිම හිඳ ගන්නේද නැත. මා විසින් දහඩිය මුගුරු හෙලා හරි හම්බ කර මුදලින් සාදා ගත් නිවස තුල සිටීමද, ගේ ඇතුලේ ඇති නා නා ප්‍රකාර පුටු වල හිඳ ගැනීමද මුන් දෙන්නා විසින් තහනම් කිරීමට යයි. මිය ගොස් සතියක් ගත වීමටද මත්තෙන් මාව මළ පෙරේතයෙකු ලෙස සලකා කටයුතු කරන්නේ කුමන එදිරිවාදු කමක් පිරිමැසීමටද යන්න මා හට වැටහෙන්නේද නැත.

ධර්ම දේශනාව සඳහා ස්වාමීන් වහන්සේ පැමිණ ඇත. බණ ඇසීම සඳහා දෙතුන් සියයක් පැමිණෙතැයි බලාපොරොත්තු වූවද මේ වන තෙක් විසි පහකට වඩා පැමිණ නැත. නියමිත වෙලාවටම ධර්ම දේශනය ආරම්භ කළ යුතු බවට ද ,රාත්‍රී අටහමාර වන විට කිලෝ මීටර් ගණනාවකට එපිටින් පැවැත්වෙන පිරිත් දේශනයකට සහභාගී විය යුතු ම බවට ද උන්වහන්සේ පවසයි.

කෙනෙකු මිය ගිය පසුව බණක් කියනු ලබන්නේ පැමිණෙන පිරිස ධර්මය ශ්‍රවණය කිරීමෙන් ලබා ගන්නා පින් මියගිය අයට අනුමෝදන් කර ඔහුව සුගතියක ඉපදවීමට බව බොහෝ දෙනෙකුට අමතක වී ඇත. බොහෝ දෙනෙකු බණ අවසන් වන මොහොතේ පැමිණ හොර පූසන් සේ වාඩි වන අයුරු අනන්තවත් දැක ඇති නිසා මෙතැන සිටීමෙන්ද කිසිදු පලක් නැත.

එබැවින් මද විරාමයක් ගැනීම සඳහා පිටව යාම මැනැවයි සිතූ සැනින් මාගේ කණ අසලින් කොකඩවාම කන් හිරි වට්ටන නලා ශබ්දයක්ද ඇසෙන්නට විය. නෙත් හැර බැලුවෙමි. මා තවමත් ඇඳ මතය. මදුරුවෙක් කණ අසල ගීත ගයයි. පොරවන රෙද්ද හිසද ආවරණය වන සේ දවටාගෙන අනෙක් පසට හැරුණෙමි. සිහිනයේ ඊළඟ කොටස කොයියම් වෙලාවක හෝ පෙනෙනවා ඇත.

මා මිය ගොස් නැත



කන් බිහිරිවන අන්දමේ විශල ශබ්දයක් සමගින් සියල්ල එක් වර අඳුරු විය. මාහට පාලනය කර ගත නොහැකි වේගයකින් ඉතා දීප්තිමත් ආලෝක ධාරාවක් ඔස්සේ මා ඇදී ගියා මතකය.
අවසානයේදී මට දක්නට ලැබුණේ වසා තිබෙන අති විශාල දොරටුවකි.

එය විවර කරගැනීමට මා උත්සාහ කරන අතරේ මා පිටුපසින් ප්‍රාදුර්භූත වූ උත්තුංග දේහධාරියෙක් විසින් මාගේ ගෙලින් අල්ලා වැරෙන් තල්ලු කරන ලද්දෙන් මා අන්ධකාර දෝනාවක් දිගේ නොකඩවා වැටෙන්නට විය. එක් වරම මා පතිත වූයේ මාගේ නිවසේ ගේට්ටුව අසලටය.

නිවස තුලද, ඉන් පිටතද දැඩි කලබලයකි. මාගේ ඥාතීන්ද, මිතුරන්ද, අසල්වාසීන්ද, නොදන්නා අයද එහි රැඳී සිටිති. සාලය මැද්දේ පෙට්ටියක සතපවන ලද පුද්ගලයෙකි. ඔහුගේ මුහුණෙහි හුරු පුරුදු බවක් දැනෙයි.
ඔහු මාගේම නිවුන් සහෝදරයෙකු වැන්න.

ඒ බව වඩාත් හොඳින් පරීක්ෂා කිරීමට ඔහුගේ මුහුණට එබී බැලුවෙමි.
මාගේ දකුණු ඇහි බැමේ තිබෙන කැපුම් සලකුණද එසේමය. මාගේ රැවුල් මෝස්තරයම තබා ඇත. යුරෝපීය ඇඳුම් කට්ටලය නිසා කඩවසම් පෙනුමක් ඇත. පැහැයෙන් පැහැපත් ය. අවසානයේ මා හට සිදුව ඇති දෙය අවබෝධ වන්නට විය. මා මිය ගොසිනි.

මාගේ මෘත දේහය සාලය මැද සතපවා ඇත.

බිරින්ඳෑ කොතැන සිටිනවා ඇතිදැයි සිතීමි. එසැනින් මා නිදන කාමරයේය. ඇය ඇඳුම් අල්මාරියේ දොර හැර සුදු ඇඳුම් තෝරන්නීය. ඇගේ සහායට ඥාති සොයුරියකි. ඇය දොර ජනෙල් රෙදි කන්දක් මදිමින් සිටියි. ඒ අතරවාරයේ ඇඳුම් තේරීම පිළිබඳවද උපදෙස් නිකුත් කරන්නීය.
"ඔයා උදේ වරුවට ඔය බ්ලව්ස් එකත් එක්ක මේ ඕෆ් වයිට් ස්කර්ට් එක අඳින්න. හවසට මේ අත් දිග බ්ලව්ස් එකයි, බ්ලැක් ස්කර්ට් එකයි හොඳයි.
හෙට උදේ වරුවට අපි බෞද්ධයා එකේ බණ අහන්න යන්න තිලකවර්ධනෙන් ගත්ත ෆ්‍රොක් එක හොඳයි. හෙට හවසට නම් සාරියක් අඳින්නම එපැයි"
ඒ සමගම මා හට පර චිත්ත විජානන ඥානය වැන්නක්ද පහල විය.

බිරින්දෑ මෙසේ සිතයි.
"හත් දවස ඉවර වෙනකල් ටී.වී.එක හයි කර ගන්න බැරි වෙයි. අපරාදෙ ටෙලි නාට්‍ය ටික. මෙගා ස්ටාර් ටිකයි, හින්දි චිත්‍රපටි දෙකයි ඔක්කොම මග ඇරෙනවා."

එතැනින් නික්මී කෑම කාමරය වෙත ගියෙමි. නෑනලා කීප දෙනෙක් බර කතාවකය.

"අපේ එක්කෙනා අද කොහොම කනවද දන්නෙ නැහැ. හැමදාමත් එයාට මං ම කවන්න එපායැ. කවදාවත් කුස්සියට ඇවිල්ලා වතුර වීදුරුවක් වත් බොන්නෙ නැහැ. ඒකත් මං ම ගෙනිහින් පොවන්න ඕනෑ."
ඒ නෑනාගේ ස්වාමියා තවමත් ඉන්නේ විදේශගතවය. මේ කියන්නේ වයස විසි ගණනක් වූ ඇගේ පුත්‍රයා ගැනය.

අනෙක් නෑනා ඊට දෙවෙනි වෙන්නට කැමති නැත.
"අපේ දෝණිත් ඔය වගේම තමයි. තවම හරියකට තේ එකක්වත් හදා ගන්නට දන්නෙ නැහැ. අනේ මන්දා මෙයාව කසාද බන්දලා ගෙදර තියා ගන්නවා ඇර වෙන කරන්න දෙයක් නම් ඇත්තෙම නැහැ. නැත්නම් නැන්දම්මලාගෙන් එක එක කතන්දර අහන්න වෙයි"

දෝණියැන්දෑ ඊයේ උදේ හෝටලයක සිට ඇගේ පෙම්වතාට තේ කෝප්පයක් සාදා පොවමින් හිටි අයුරු මා හට අතේ මාට්ටු වුණු බව ඇයට මම කෑ ගසා කිව්වද මා කියන කිසිවක් ඇයට නොඇසෙනවා විය හැක.

ඇගේ දියණිය තවත් ඥාති දියණියන් කීප දෙනෙකු සමගින් හිවසට පැමිණෙන අයට නෙස්කැෆේ ඇල්ලීමේ කාර්‍යය බාරගෙනය. එලිය පැත්තේ රවුමක් ගසා පැමිණෙන ඔවුන් තොල් ආලේපන ගල්වති. කොණ්ඩය හදති.

විටින් විට නිවසට අමුත්තන් පැමිණෙති. ගේට්ටුවෙන් ඇතුළු වන විටම ඔවුන්ගේ සිනහා මුහුණු අතුරුදහන් වී බැරෑරුම් සවරූපයක් ගනියි. ඔස්කාර් සම්මාන දිය යුත්තේ මොවුන්ටය. කිසිදු තිර රචනයක් නැතිවම රඟපාති.

සාලයේ කොණක වාඩි වී සිටි බිරින්දෑ නැගිට ඔවුන්ව දෑත් එක්කර අචාර කරනු පෙනෙයි. ඔවුන්ද පෙරලා ආචාර කරන්නේ ගොළුවන් සේය. අනතුරුව ඔවුන් එම ශෝක මුහුණින්ම ගොස් මාගේ මෘත දේහය දෙස බලා සිටිති.
මා හට ලැබී ඇති විශේෂ හැකියාව නිසා ඔවුන්ගේ සිතිවිළි මට දැනෙයි.

"මූට අවුරුදු පනස් හයක් වෙලත් එක රැවුල් ගහක්, කෙස් ගහක් ඉදිලා නැහැ.මළත් මූ ඉලන්දාරි පාටට ඉන්නවා"
"මූව මැරිලා ගිය එකමයි කාරිය. මූ හැමතිස්සෙම තනියෙන්ම හිටියා ඇරෙන්න මට අරක්කු ටිකක්වත් බොන්න අඬගහලා නැහැ"

අපේ පරම්පරාවට කෙස් පැහෙන්නේ නැති ජානයක් තිබෙන බවටත්, හැම දෙනාගෙන්ම පිං අඩි බලාපොරොත්තුව ඉන්න එකාව දුටු සැනින් මම ද හිතාමතාම මූව නොදැක්කා සේ ගිය බවත් මුං දෙන්නාට කියන්න ඕනෑ නැත.

නිවසින් ටිකක් ඈතට වෙන්නට සෑහෙන පිරිසක් වාඩි වී සිටිනු පෙනෙයි.
සමහරු ඕමි ගසති. තවත් සමහරු කැරම් ක්‍රීඩාවේ යෙදෙති. ඒ සියල්ලෝම හැබෑ දක්ෂයෝය. අපේ ජාතික ක්‍රීඩාව කළ යුතුව තිබුණේ ඕමි ඇල්ලීම හෝ කැරම් ක්‍රීඩාවය.

තවත් ඈතට වෙන්නට ගසක් යට දහ පාළොස් දෙනෙක් වට වී බූරුවා ගසති. නිදහසේ බූරුවා ගැසීමට මළ ගෙවල් වල ඇති නිදහස වෙන කොතැනකවත් නැත. කෑම, බීම, තේ, බිස්කට්, සැන්විච්, මාළු පාන් ,සීනි බනිස්, කෝපි ආදිය නොකඩවා සැපයේ.විදුලි ආලෝකය මධ්‍යයේ ඔවුන් ඉතාමත් උද්‍යෝගිමත් ව ක්‍රීඩාවේ නියැලෙති.

වත්තෙන් පිටත නවතා ඇති මෝටර් රථ කීපයක් ආසන්නයේ තුන් හතර දෙනා වටවී රහසිගත මෙහෙයුම් වල යෙදෙති.
ඒවා ජංගම මත්පැන් හල් වැනිය. රාත්‍රී කෑම සූදානම් කර ඇති ස්ථානයේ සිටින පුද්ගලයෙක් විටින් විට ඔවුන් හට කටගැස්මවල් සපයනු පෙනෙයි. පපඩම්, සලාද සහ මාළු කැබලි විටින් විට එම මෝටර් රථ වෙත ඇදී යයි.

මීට අමතරව රස කතා රාශියක් ඔවුන් විසින් වමාරයි.

අතීතයේදී මත් පැන් පානය කර වාහන පදවා පොලීසියෙන් ගැලවුනු අයුරුද, මරණ ගෙවල් වලට සහභාගි වීමට බොහෝ දුර බැහැර පළාත් වලට ගිය අයුරුද වර්ණනාත්මකව කියැවෙයි.

තවත් තැනෙක පුංචි පාර්ලිමේන්තුවකි.
දවසේ මාතෘකාව ප්‍රභාකරන්ට මහත්මයා කීමය. අවස්තා ගණනාවකදීම එවන් අය බලයට පත් කරන්නට ඡන්දය පාවිච්චි කරේත් ඔවුන්ම බව අමතක වී ඇති හැඩය.

ගම්වාසී ගොවියන් කීපදෙනෙක් එක් වී තවත් කතාවකි. පැල මැක්කන්ට බෙහෙත් ගැසීමද, යූරියා හිඟයද, ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමද ඒ කතාබහ අතර වෙයි.

සිමෙන්ති සමාගමක අලෙවි නියෝජිතයන් කීපදෙනෙකු සහ අලෙවි කළමණාකරුවන් එක් වී තවත් තැනකය. මාසික අලෙවිය වැඩි කිරීම, ටාගට්, ණය අය කර ගැණීම පිළිබඳව ඔවුන් කතාවෙති.

තවත් නෑදෑයින් සමූහයක් පුටු රවුමක් හදාගෙන සතුටු සාමිචියේ යෙදෙති. ඔවුන් අවසාන වරට හමු වූයේ මීට අවුරුදු පහකට පමණ පෙර තිබූ අවමංගල්‍ය අවස්ථාවකදී බව මට නම් හොඳින් මතකය. ඔවුන් මගුලට සහ මරණයට පමණක් එන පිරිසකි. එසේ පැමිණි විට කුමක් හෝ අස් කොණක් අල්ලාගෙන නැවතත් පැත්ත පලාතේ නොපැමිණෙන ඔවුන් නැවත පැමිණෙන්නේ ඊළඟ මරණ ගෙදරට හෝ මගුල් ගෙදරට පමණකි.

කෑම සූදානම් කර ඇති ස්ථානයේ නොමැත්තේ කිරි පැණි, අයිස් ක්‍රීම් සහ වටලප්පන් පමණය. රතු සහ සුදු ඉඳි ආප්ප, පාන්, සුදු බත් සහ රතු බත්, නූඩ්ල්ස් ආදියද, සෑම කෑමකම අනිවාර්‍ය ආහාර වන බෝංචි, පරිප්පු, සලාද, අල කරිය, මිරිසට පිසූ මාළු , ගෝවා කොළ තෙල් දැමිම සහ ගොටුකොළ සම්බෝල ඒ අතර වේ. කේටරින් සමාගමේ කාන්තාවක් කෑම බෙදා ගන්නා අයට මාළු කෑල්ල බැගින් බෙදා දෙන්නේ මාළු කෑලි දෙකක් කෑවොත් ඔවුන්ට අධි පෝෂණය හැදෙන නිසා විය යුතුය.

පුත්‍රයා පෙනෙන්නට නැත. එබැවින් ඔහුගේ කාමරය තුලට ඇදී ගියෙමි. ඔහු සිය ඇඳ මත චෙක් පත් කීපයක්, මුදල් නෝට්ටු කීපයක් හා කැල්කියුලේටරයක් ලඟ තබාගෙන බරපතල කල්පනාවක නිමග්න වෙමින් සිටියි. මා පමණක් නොව පවුලේ සියළුම දෙනා මිය ගියත් බැංකුවට උදෑසන 10 ට පෙර මුදල් දමා තිබිය යුතුය. නැතිනම් අපගේ සැපයුම් කාර සමාගමේ නිළධාරීන් සවස දෙක පණින විට ඉස්තෝප්පුවේ වාඩි වී සිටිනු ඇත. ඔවුන්ගෙන් බේරී මාගේ මිණිය වැලලීමට හෝ නොහැකි බව දන්නේ අපි තුන්දෙනා සහ ගෙදර ඉන්නා බල්ලන් පමණකි.

නැවතත් සාලයට ඇදී ආවෙමි.
සාලයේ කිසිවෙකු නැත. මිනී පෙට්ටිය පාමුල අපගේ නිවසේ ඇති කරන බැල්ලියන් දෙදෙනා, බල්ලා සහ බැළලිය පමණක් ශෝකාකූලව වැතිර සිටියි.
හිස අද්දර දල්වා ඇති පොල්තෙල් පහණ මළානික ආලෝකයක් විහිදුවයි.

ආත්මානුකම්පාව ම හද දවාලයි. කළකිරීම දෙගුණ තෙගුණ වෙයි.
නැවත නොඉපදී සිටිය යුතුමය.

කන් බිහිරි කරවන අකුණක ශබ්දයක් ඇසේ. ධාරානිපාත වැස්සක හඬ අවට පැතිරී යයි. අසීරුවෙන් නෙත් හැර බලමි. මා මිය ගොස් නැත. පාන්දර යාමයේ සිහිනයක් පමණක් දැක ඇත.