Sunday, April 29, 2018

මංකොල්ලය

ජීවිතේ අඩ සිය වසකට අධික කාලයකුත් ගත උනායින් පස්සෙ, නිස්කාන්සුවේ ඉඳගෙන, මගේ ජීවිතයේ ගත වුනු කාලය ගැන හිතන කොට නම් මම ගැන මටම පුදුම හිතෙනවා. ඔය කාල සීමාවෙදී මම මුහුණ දුන්නු සිදුවීම් පොතකට එකතු කරොත් නම් ඒක ලෝකෙ තියෙන ලොකුම නවකතා පොතටත් වඩා තවත් ටිකක් ලොකු වේවි.
මේ කියන සිදු වීම වෙලා දැන් වසර බර ගණනක් ගෙවිලා ගිහින්. ඒත් එදා මම මුහුණ දුන්න මේ සිද්ධියෙන් ඉගෙන ගත්ත පාඩම නම් මගේ ජීවිතයට බොහෝ වැදගත් වුනා. මට තියෙන ලොකුම කණගාටුව මේ වගේ දේවල් වෙනවා කියලා නොදන්නා අමුත්තෙක් මට දුම්‍ රිය නිදන මැදිරියකදී කියලා දීලත් ඒක හරියට පිළිපදින්න බැරි වුන එක ගැනයි.
මේ කියන කාල වකවානුවේදී මගේ පුතාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අපි මහනුවර පදිංචි වෙලා හිටියේ. පාසැල් නිවාඩුවට තුන් දෙනාම ගම්පහ ගෙදටට එනවා. එහෙම ගම්පහට ඇවිල්ලා හිටපු එක නිවාඩු කාලයක හදිසි අවශ්‍යතාවයකට මහනුවර ගෙදරට යන්න වුනා.
ඊට පස්සේ ආපහු ගම්පහට එන්න පිටත් වෙන කොටත් රෑ 9.30 ට පමණ ඇති. නගරාන්තර නොවෙන පුද්ගලික බසයකටයි මම ගොඩ වුනේ. යක්කල හන්දියෙන් බැස්සහම එතැනින් ගම්පහට එන්න පුළුවන් වෙනවා උනත් ඒ ටික දුර එන එක බොහොම දුෂ්කර ක්‍රියාවක්. ඒ දවස්වල ත්‍රිරෝද රථ මංකොල්ල ගණනාවක් වෙලා තිබුණු හින්දා රාත්‍රියට ඒ අය දුර ගමන් යන එක ප්‍රතික්ෂේප කරන කාලයක්. ඒ නිසා කැළණිය දුම්රිය ස්ථානය ලඟින් බැහැලා අන්තිම දුම්රියේ ගම්පහට එන එක තමයි වඩාත් පහසු.
බස් රථය ගමන ආරම්භ කරා. අතරමගදී බසයට සෑහෙන මගීන් සංඛ්‍යාවක් ගොඩ වුණා. කෑගල්ල නගරයෙන් මගීන් හත් අට දෙනෙක් බසයට නැග්ගා. ඒ අය අතරින් වයස අවුරුදු 30 - 35 අතරේ පිරිමියෙක් මගේ ලඟ තිබුණු හිස් අසුනේ වාඩි උනා. ඔහුත් එක්කම තවත් කෙනෙක් ආවා කියලා මම දැන ගත්තේ ඔහු කොළඹට ප්‍රවේශ පත් දෙකක් අර ගත් නිසා.
වරකාපොල හරියෙදී පටන් ගත්ත වැස්ස කිරිබත්ගොඩ කිට්ටු වෙන කොට ධාරානිපාත වැස්සක් බවට පත්වෙලා. වෙලාවත් සෑහෙන්න ගත වෙලා. අන්තිම දුම්රිය මේ වෙනකොට ගම්පහටත් කිට්ටු කරලා ඇති.
ඒ නිසා කෙලින්ම පිටකොටුවට ආවා. උඩරට මාර්ගයේ පළමු දුම්රිය පාන්දර 3.30 ට ගමන් ආරම්භ කරනවනෙ. ඔය ටික වෙලාව ඔය පිටකොටුවෙම ගත කරන්න පුළුවන් කියලා හිත හදා ගත්තා.
මධ්‍යම රාත්‍රියට පිටකොටුවේ මැවෙන්නේ අමුතුම ලෝකයක්. මැජික් කාරයෝ, තෙල් බෙහෙත් වෙළෙන්දෝ, ඩුප්ලිකේට් ජෝතිලා, මිල්ටන්ලා එමටයි.හදන්නේ කොහෙද කියලා දන්නෙ නැති උනත් ගින්දර වගේ උණුවෙන් රසම රස සව් කැඳ වීදුරුවක, එවෙලේ බදින උණු රටකජු වල රසය විඳින්නත් පුළුවන්. රාත්‍රියටත් පිටකොටුව ජනාකීර්ණයි.
බස් එක පිටකොටුවට එනකොටත් වැස්ස අඩුවක් නැති නිසා බස් එක බැස්ටියන් මාවතේ බස්නැවතුම් පොලේම නැවැත්වුවා. ඔය වෙනකොට කෑගල්ලෙන් බස් එකට නැගලා මගේ ලඟින් ඉඳ ගත් හාදයා මගෙත් එක්ක කතාවට වැටිලා. බස් එකෙන් බැහැපුවාම එයාගේ යාලුවාත් එතැනට ආවා.මේ අය අල සහ රතුළූණු වෙළෙන්දන් බවත්, ව්‍යාපාරික අවශ්‍යතාවයකට අරණායකට ගිය බවත් ඔවුන් නැවතී සිටින්නේ ගුණසිංහපුර බෝඩිමක බවත් කිව්වා.
වැස්ස තවමත් වහිනවා. වෙලාවත් පාන්දර 1.30 ට පමණ ඇති. තේ කෝප්පයක උවමනාව හැමෝටම තදින් දැනුණා උනත් වැස්ස තවමත් යන්තමින් වහිනවා. අර දෙන්නාගෙන් එක් අයෙක් වැස්සේ තෙමීගෙනම ඉස්සරහින් තිබුණ හෝටලයකට ගිහින් වතුර බොන වීදුරුවකට දමලා කිරි තේ එකක් ගෙනාවා.
ඉස්සෙල්ලාම මට බොන්න කියා කිව්වත් අර නිදන මැදිරි මහත්තයාගේ ගෝරනාඩුව සිහියට ආවා. ඒ අයට පළමුව බීලා ඉතිරි ටික මට දෙන්න කිව්වා. අන්තිමේදී එයින් උගුරු දෙකක් මම බිව්වා. තොල් දෙක එකට ඇලෙන තරම් මහා ගොඩක් සීනි දමපු තේ එකක්.
ඊට පස්සේ මේ දෙන්නා මට කතා කරනවා ඒ අය ඉන්න කාමයයට ගිහිල්ලා උදේ පාන්දරට ආපහු යන්න කියලා. ඒ එක්කම මට දැනෙනවා මගේ කල්පනාවේ වෙනසක්. ඉස්සරහා හැම දෙයක්ම දෙකක් වෙලා. ලයිට් වලින් දේදුණු වර්ණ රටා මැවෙනවා.
ඔය අස්සෙන්ම මගේ සිහියට ආවා මේ අය මාව මංකොල්ල කන්න හිතාගෙන මොනවා හරි අර තේ එකත් එක්ක දුන්නා කියලා.
දැන් මට එතැනින් පැන ගන්න ඕනෑ. පිටකොටුව බෝ ගහ ලඟම තියෙන සාන්ත ස්නැක් බාර් එකේ අයිතිකරු මගේ හොඳම යහළුවෙක්. එතෙන්ට යනවා කියලා හිතේ තියාගෙන අර දෙන්නාගේ කාමරයට යමු කියලා ප්‍රධාන මාර්ගයට ආවා.
ඊට පස්සේ මගේ මතකය තියෙන්නේ කඩින් කඩ.
සාන්ත ස්නැක් බාර් එකේ කැෂියර් ඉලන්දාරියාගෙන් ෂොපින් කවරයක් ඉල්ලාගෙන ඔරලෝසුවයි,මුදල් පසුම්බියයි ඒකට දාලා ඔහුට දුන්නා මතකයි.
හැඳුණුම් පතයි රු.100/= කුයි උඩ සාක්කුවට දා ගත්තාත් මතකයි.
කොටුව දුම්‍ රිය පොලෙන් ගම්පහට එන්න ටිකට් එකක් ගත්තා මතකයි.
උදේ 6.30 ට මහනුවර බලා යන නගරාන්තර දුම්‍ රිය ගැන නිවේදනයක් කරනවා මතකයි.
උදේ 9.30ට විතර වනවාසල දුම් රිය ස්ථානයේ හිටියා මතකයි.
ඒ ළඟ තිබුණු කඩේකින් ලැවරියා එකක් කෑවා මතකයි.
කඩේ හිටපු මුදලාලි හාමිනේට කියලා ගෙදරට එන්න ත්‍රි රෝද රථයක් ගෙන්නවා ගත්තා මතකයි.
ගෙදරට ඇවිල්ලා ඒ ත්‍රි රෝද රථයට සල්ලි ගෙවන්න කියලා බිරින්දෑට කිව්වා මතකයි.
මාව බලන්න ලොකු අක්කයි,මස්සිනායි ආවාත් මතකයි.
සම්පත් බැංකුවේ e channeling සේවාවෙන් ස්නායු ශල්‍ය වෛද්‍යවරියක් වන රන්ජනී ගමගේ මහත්මියට  appointment එකක් ගත්තා මතකයි.
නවලෝක රෝහලේ කොරිඩෝව මතකයි.
රෝද පුටුවක තියාගෙන දිග කොරිඩෝවකින් ගිහිල්ලා MRI පරීක්ෂණයක් කරා මතකයි.
කඩින් කඩ මතකයක් විතරයි තියෙන්නේ.
ඔය අස්සෙන් දකුණු අතත් අකර්මණ්‍යයි.
හරියට සිහි කල්පනාව එන්න දවස් පහක් ගත වෙලා තිබුණා.
අත පණ නැතුව ගිහින් තියෙන්නේ බංකුවක නිදාගෙන ඉන්න වෙලාවේ අත තෙරපීමකට ලක් වෙලා. ඒ අතට භෞත චිකිත්සක අභ්‍යාස කරලා ලියන්න පුළුවන් වෙනකල් රෝහලෙන් ටිකට් කැපුවේ නම් නැහැ.
අර තේ එකේ මුල් කොටස බිව්ව දෙන්නටත් මේ වගේම සිහිය විකල් වෙන්නත් ඇති.
රෝහලෙන් ගෙදරට එන ගමන් අර පිටකොටුවේ කඩේට පරිස්සමට තියාපු දේවල් අරගත්තා. එතැන තිබුණු වටිනාම දේ මගේ අතේ තිබුණු ඔරලෝසුව පමණයි. ලොකු මුදලක් නම් තිබුණේ නැහැ.
කඩේ හිටපු අය කියනවා බාහිරින්වත් හැසිරීමෙන් වත් මගේ ලොකු වෙනසක් පෙනුණේ නැහැල්ලු.
මම ගෙදරට ආව ත්‍රිරෝද රියැදුරා එක්කත් හොඳට කතා කරමින් ආවලු.
නොකඩවා නිදා ගත් එකටලු ගෙදර අය බය වුණේ.
පහුවදා රෑ රෝහලට යනකොටත් මම හොඳට කතා කර කර ගියාලු.
අතරමග කඩේකින් වාහනය නවත්වාගෙන දුම් වැටි පැකට් එකකුත් ගත්තලු. ඒත් ඒවා එකක්වත් මගේ මතකයේ නැහැ.
පියවි සිහිය ආවයින් පස්සේ හිතට එන ගැටළු ගොඩයි . සිහිය විකල් කාලේ මම මොනවා කියෙව්වද දන්නෙත් නැහැනෙ.
සිහිය ආවයින් පස්සේ එකම බලාපොරොත්තුවයි තිබුණේ.
ඒ මගේ අතින්ම discharge card එකේ අත්සන් කරලා ගෙදර එන්න. ඒක නම් කොහොම හරි කර ගත්තා.
එහෙම නැති උනත් මාව discharge කරවන සිදු වීමකුත් උණා.
අපායට ගියත් අතහරින්නට බැරි පුරුදුත් තියෙනවනේ. පුරුදු උනාම දුම් වැටියක්, බුලත් විටක් නැතුවම බැහැ. වාට්ටුවේ ඕවා කරන්නත් බැහැනේ.
භෞත චිකිත්සක අභ්‍යාස කරන කාමටයට මම යන්නේ තනියම.
ඒ ගිහිල්ලා ආපහු එනකොට එලියට පැන ගන්න රෝගියෙක් ලඟ ඉන්න උපස්ථායකයෙකුගේ වෙස් ගත්තා.
කිසි අවුලක් නැහැ. පුංචි බොරැල්ල හන්දියෙම ඉන්න රංජි අය්යාගේ විට කඩේට ගිහිල්ලා උවමනාව ඉෂ්ඨ කරගෙන හොර පූසෙක් වගේ වාට්ටුවේ ඇඳට එනවා.
විශේෂඥ වෛද්‍යතුමිය වාට්ටුවට එන වෙලාවට සහපිරිවර රාශියක් ඒ පස්සෙන් එනවනේ. එදත් එහෙම ආව ඇටෙන්ඩන් මහත්තයෙක් මාව අර විට කඩේදී දැකලා තිබිලා. මෙයා ඒ බව මහා සද්දෙට රන්ජනී ගමගේ නෝනාට කිව්වේ මම ආනන්තර්‍යය පාප කර්මයක් කරලා එයා අතටම අල්ලා ගත්තා වගෙයි.
එතුමිය මගේ මූණ දිහා බැලුවා. මගේ මූණෙ ඇඳිච්ච හොර හිනාවට එයාටත් හිනාවක් ගියා.
ඇඳ ඉහපත් ගොනුව අතට අරන් ලියාගෙන ලියාගෙන ගියා.
"Discharged"

Saturday, April 28, 2018

රේල් පාර දිගේ ගෙදරට


මම පාසැල් ගියේ අගනුවරටයි.
ගෙදර ඉඳන් ගම්පහ නගරයට බස් රථයකින් ඇවිල්ලාගම්පහ ඉඳන් මරදානට දුම් රියෙන් ගිහින් මරදානෙ ඉඳන් පාසැලට පා ගමනින් යනවා.
ගම්පහින් උදේ 06.04 ට පිටත්වෙන
දුම් රියේ පාසැල් මැදිරියක් තිබුනා.
ඒක දැන් තියෙන පාසැල් බස් රථ වල වගේ සද්ද බද්ද නැහැ.
හැමෝම තමන්ගෙ පාඩුවෙ යනවා.
ඒ සංවර කම හින්ද එහෙම නෙවෙයි. පාසැල් වල ගුරුවරුත් ඒ මැදිරියෙම යන හින්දා.
නන්දනී ටීචර් කියන්නේ අපේ අර්ජුන රණතුංග ඇමති තුමාගෙ අම්මා.ඒ පවුලෙ හැමෝම වගේ ක්‍රිකට් ක්‍රීඩා කරපු නිසා ඒ ආම්පන්න දමාපු බෑග් රාශියක් අරගෙනයි උදේට දුම් රිය පොලට එන්නේ. ක්‍රීඩා භාරව හිටපු සමරකෝන් සර්, ආනන්ද බාලිකාවෙ උගන්නපු කටුවාවල ටීචර්ව එහෙම නම් නමින් මතකයි.
අපේ ගෙදරින් කවුරු හරි මාත් එක්කම ඇවිල්ලා මාව ඒ ගුරුතුමියකට භාර දෙනවා. ඔය කෝච්චියෙන් මරදානට එනකල්ම ගුරුවරුන්ගේ අඩස්සියේ තමයි එන්නේ. ඒ හින්දා ඒකෙ එන ඔක්කොම ළමයි සාන්ත දාන්ත තීන්ත කූඩු වගේ.
මේ කියන්න යන සිදුවීම උන දවසේ අපේ පාරෙ ගංවතුර.
ඒ දවස් වලට බස් ධාවනයක් නැහැ. ඉතින් වැඩට යන අය, පාසැල් ළමයි එහෙම පෙරහැර වගෙ පයින් යනවා. අපිටත් ඉතින් ඒ දවස් වලට පාසැලට යන්නම ඕනේ. ගෙදර නවතින්නෙම නෑ. ගංවතුරෙ පයින් යන එකත් අපූරු අත් දැකීමක්නෙ.
එදා මාව දුම්‍ රියට ඇරලවන්න බාර දුන්නේ අපේ මාමා කෙනෙකුට. අම්මා තරම් නීති දාන්නෙත් නැහැනෙ. හිතේ හැටියට ගංවතුර ප්‍රීතිය භුක්ති විඳිමින් ගම්පහ දුම්‍ රිය පොළට ආවා. වේදිකාවේ කළින් යන දුම් රියත් නවත්තලා තියෙනවා. ඒත් පිටත් වෙන්නේ නැහැ. විපරම් කරලා බලනකොට බටුවත්ත දුම් රිය පොලේ දුම් රිය දෙකක් හැප්පිලා. බරපතල අනතුරක්ලු.
අර මාමාත් වඩ කරන්නේ කොළඹ කාර්‍යාලයක. ඉතින් අපි බස් එකේ පිටකොටුවට ආවා. ඒ මාමා මාව පන්ති කාමරයටම ඇරලෙව්වා.
එදා දවසේ මාතෘකාව දුම් රිය අනතුර ගැනයි. ඒ අනතුර දැකපු අය ඒ ගැන පණ පිහිටුවලා කියනකොට ඒක බලන්න කාටද ආස හිතෙන්නෙ නැත්තේ.
පාසැලත් ඇරුනා. දුම් රියේ යන යාළුවො කට්ටියම වෙනදා වගේම මරදාන දුම්‍රිය පොලට ආවා. 1.55 දුම් රියත් වෙලාවටම ආවා. නිවේදනය ඇහුනහමයි හැමෝටම තරු පෙණුනේ.
දුම් රිය ධාවනය වෙන්නේ රාගමට විතරයි. පිටකොටුවට ගිහින් ගම්පහට බස් එකේ එන්න සල්ලිත් නැහැ. ඒ ගමන හැමෝ එක්කම කතා උනා රාගම ඉඳන් දුම් රිය පාර දිගේ පයින් ඇවිල්ලා බටුවත්තේ අනතුරත් බලලා දුම්‍ රිය පාර දිගේ පයින්ම එමු කියලා.
රාගමින් බැස්සා. කිසි පාළුවකුත් නෑ. කට්ටියක්ම ඉන්නවා. ලොකු කට්ටියත් ඉන්නවනෙ. ඔක්කොම රේල් පාර දිගේ පයින් එනවා. වල්පොලදි කට්ටියක් නැවතුනා. ඊළඟට බටුවත්ත. ඒ හරිය
ඊ ගහ වගේ කෙළින් පාර. ඈතින් අනතුරට පත් උන දුම් රිය පේනවා.
කොහොමින් හරි බටුවත්තටත් ආවා.
අනතුර අති භයානකයි. මැදිරි එක උඩ එක නැගලා. මැදිරි ඔසවන්න ආව කළු පාට දොඹකරයක් තියෙන දුම්‍ රිය ඇවිල්ලා මැදිරි පීලිගත කරන්න සූදානම. ඊට ටික වෙලාවකට කලින්ලු සුන් බුන් අතරෙ හිරවෙලා හිටපු කෙනෙක්ව එළියට ගත්තේ.
එතැන පැය බාගයක් විතර ගත කරලා පිටත් වෙනකොට රේල් පාර දිගේ පයින් ආව අය ගොඩක් ඈතින්‍ යනවා පේනවා. ගානක් නෑ අපේ හතර දෙනෙක් ඉන්නවනෙ.
බුළුගහගොඩින් එක්කෙනෙක් නතර උනා. ගනේමුල්ලෙදි ඉතුරු දෙන්නත් නතර උනා. මම තනි උනා. ගම්පහට යන්න තව කිලෝ මීටර් හයක්වත් ඇති. තනියෙන් යන්නත් බයයි. ඒ දවස් වල කරවල වාඩි වලට ළමයින් පැහැරගෙන යනවා කියල කතාවකුත් තිබුණා. ඒ හින්දා කවුරු හරි එයිද කියලා බලා ගෙන ඉන්නකොට බබෙක් හම්බවෙන්න ඉන්න තරුණ ගෑනු කෙකෙකුයි, ඒ වයසෙම තව ගෑණු කෙනෙකුයි රේල් පාරට ගොඩ උනා.
කොහොමින් හරි මමත් ඒ අයටම හේත්තු වෙලා පයින්ම එන්න පටන් ගත්තා.
යාගොඩ ස්ටේෂන් එක පහුවෙලා ටිකක් දුර එනකොට ධාරානිපාත වැස්සක් කඩන් පාත් වුණා. අර දෙන්නට නම් එක කුඩ පොඩ්ඩක් තිබුණා. ඒත් වෙල් යායක් මැදින් වැටුනු රේල්පාරක පයින් එනකොට තියෙන හුළඟට කුඩ ඔරොත්තු දෙනවයැ. ඒ මදිවට ඒකෙ නණ අනික් පැත්ත හැරෙනවා.
ඔය අස්සෙන් අකුණුත් ගහනවා. විදිලි එළි කණ ළඟින් යනවා වගෙයි. කුඩ වලට අකුණු එන නිසා ඒ කුඩේ අකුලා ගත්තා.
ඒ දෙන්නා රාගම ඉස්පිරිතාලෙ ඉඳලා එන දෙන්නෙක්. ඒ හින්දා ඒ අය අතේ පුළුන් කොට්ටයක් තිබුණා. ඒක මට දුන්නා ඔළුවට තියා ගන්න. ඒ දෙන්නා චීත්ත රෙද්දක් ඔළුවට දා ගත්තා.
ගම්පහ නගරයට කිට්ටු වෙනකොට තියෙනවා යකඩ පාලමක්. ඒ පාලමෙන් එගොඩට යන්න තුන් දෙනාටම බයයි. යටින් යන්නේ ඌරුවල් ඔය. පලාතම ගංවතුරෙන් යට වෙලා ඔයේ හැඩ පාර දිහා බලන්නත් බයයි. ඒ මදිවට සිල්පර කොට වලට යටින් හැඩ පාර පේනවා. පයින් යන්න පුළුවන් වෙන්න යකඩ පටි තීරු තියෙනවා උනාට අකුණු ගහනවනෙ.
හිතේ බයට ඉතිපිසෝ ගාථාව මතුරන්න ගත්තට ඒක කියැවෙන්නෙත් නෑ. හීතලට ගැහෙනවා.දත් ඇන්දත් කට කට ගානවා.වෙන කරන්න දේකුත් නැහැනෙ. මරු විකල්ලෙන් වගේ පාලමෙන් පැන ගත්තා.
විනාඩි දෙක තුනක් යනකොට වැස්ස අඩු උනා. ඒ වෙනකොට කලුවරත් වැටීගෙන ඇවිල්ලා. අනේ ඒ දෙන්නා මාව අපේ බාප්පාගේ කඩේටම ඇරලෙව්වා. මම ඒ ගොල්ලන්ගෙ පිහිටෙන් ගම්පහට ආවට ඒ ගොල්ලො කිව්වේ මගෙ පිහිටෙන් ඒ ගොල්ලො බය නැතුව අවා කියලා.
ඔක්කොටම කළින් බාප්පා අපිට කෑම බීම සපයල දුන්නා. දවල්ට කන්නත් නැතුව හැතැප්ම දහයක් විතර පයින් ඇවිල්ලා, ඒ මදිවට ධාරානිපාත වැස්සකටත් තෙමිලනේ.
ඒ වෙනකොටම අපේ අම්මත් එතැනට ආවා අපේ පුංචි අම්මා කෙනෙක් එක්ක. එදා දුම්‍ රිය අනතුර ගැන ගෙදරින් දැනගෙන තියෙන්නෙත් දවල් වෙලා.
ඒ කාලෙ අද වගේ දුරකථන පහසුකම් එහෙමත් නැහැනෙ.
ඉතින් මම කොහොම හරි පාසැල් බස් එකේවත් ආපහු එයි කියලා මාව එක්ක යන්න ගම්පහට ඇවිල්ලා. ඒකෙ ආවෙ නැති හින්දා ආයෙ ගෙදර ගිහිල්ලා. කොහොම හරි එදා දවසට අම්මා ගංවතුරේ ගමන් වාර හයක් ඉහළ පහළ ගිහිල්ලා.
මම නැති හින්දා තාත්තා බය වුනු පාර නොකඩවා බඩ බුරුල් වෙලා.
අන්තිමේදී අර ගංවතුරෙම ගෙදරට එන්න පිටත් උනා කියමුකො. මම ඉතින් කණ හදාගෙන ඉන්නවා ඇති තරම් බැණුම් අහන්න. අනේ මොන බැණිල්ලක්ද ?
ඒ දෙන්නා මට ඇහෙන්න කතා වෙන්නෙ ගං වතුරට ගෙවල් වල වැසිකිළි වලවල් හේදිලා එන එකයි, දියමිටියො කාපුවාම ඇඟිළි වණ වෙලා හැදන තුවාල වලට නටන කොහොඹ තෙල් වක් කරන එකයි, පිළිකනු වල තියෙන කුණු කන්දල් ගහ ගෙන එන එකයි වගේ වස අප්පිරියා හිතෙන කතා.
ඔය කිව්වට මං නෙ දන්නෙ අපේ අම්මගෙ හැටි. දැන් ඕව කිය කිය ගියාට ගෙදර ගියාමනෙ ඉතුරු ටික.
ඒකට තව සහායට කට්ටියත් ඉන්නවනෙ.
ඒ හින්දා ඉතින් ගම පෙනි පෙනී මම බඩේ කැක්කුමකුත් එක්කම්ස් ඔළුවෙ කැක්කුමකුත් හදා ගත්තා. ගෙදරට ගිය සැනින්ම ඔළුවෙ ඉඳන් රෙද්දක් පොරවගෙන නිදා ගත්තා. එතකොට මොනව කිව්වත් මට ඇහෙන්නෙ නැහැනෙ.
ඔය සිද්ධිය උනේ 1974 හෝ 1975 වෙන්න ඕනැ. හැබැයි එදා ඉඳන් මම වැරදිලාවත් ගංවතුර පාගන්න යන්නෙ නැහැ. අර වැසිකිළි වලවල් හේදෙන හැටි මතක් වෙනවා.
අපේ අම්මාටත් දැන් වයස අවුරුදු 88 ක්.
ලෙඩ ඇඳේ තමයි ඉන්නේ. ඒ උනාට එයාට එයා තවම  පොඩි ලමයෙක් කියලා හිතෙනවා ඇත්තේ ඒ අසනීපෙ හැටි හින්දා වෙන්න ඇති.
දැන් අම්මා මට කතා කරන්නේ "තාත්තේ" කියලා. මමත් ඉතින් චූටි බබෙක්ව බලා ගන්නවා වගේ අම්මාව බලා ගන්නවා.
මට බය තියෙන්නෙ කොයි වෙලාවක හරි "අනේ තාත්තේ. මාව වඩාගෙන ගිහිල්ලා මට ගංවතුර පෙන්නන්නකෝ" කියලා කියයිද කියලා.
ඒත් එතකොට මට කියන්න පුළුවනෑ
"ඔයා ඒ කාලෙ මට ගංවතුර එපා කෙරෙව්වා" කියලා.

කදුරු බෝල ක්‍රිකට්

වෙලේ ගොයම් කපලා ඉවර වෙන්නේ කොයි වෙලේද කියලයි පුංචි දවස් වල අපි බලාගෙන ඉන්නේ. ගොයම් කපලා ඉවර වුනු ගමන්ම කුඹුරු යායම ක්‍රීඩා පිට්ටනියක් බවට හැරෙනවනෙ.
ලොකු ලොකු අයියලා කුඹුරු යායෙ තියෙන ලොකුම ලියැද්ද වෙන් කර ගන්නවා. ඒ ගොල්ලො නම් දෑකැති අරගෙන ඉපනැල්ල ආපහු කොට වෙන්න කපලා එල්ලෙ ගහන්න පිට්ටනි හදා ගන්නවා. උණ ගස් දෙකක් කපලා ඒකත් හිටවනවා බනිස් කට්ටිය කියලා.
ඒ අය අතේ නම් අපිටත් වඩා උස එල්ලේ පිති තියෙනවා. ඒ ගොල්ලෝ සෙල්ලම් කරන්නේ ටෙනිස් බෝල වලින්. ඒ සෙල්ලමට නම් කට්ටිය හුඟක් ඉන්නවනෙ. මටත් එතෙන්ට යන්න ආසාව ඉතිරෙනවා. ඒත් කොහොම යන්නද ? ආරක්ෂක ඇමතිනියත් අපේ පස්සෙන් එනවනෙ. ඒ අපේ අම්මා.
අපේ වත්ත පල්ලෙහා තරමක් ලොකු කොහිල කොටුවක් තිබුණා. ඒ එක්කම තුන්හිරියා පන් කොටුවකුත් තිබුණා. මායි අක්කලා දෙන්නයි වෙලට බහිනකොට අම්මා කොහිල කපනවා. නැතිනම් පන් ගලවනවා.අඟහරුවාදා සහ සිකුරාදා අල්ලපු ගමක පොළ තියෙනවා. ඒකට ගමේ ගොඩේ හැදෙන එළවලු එකතු කරන් යන්න එන කට්ටිය හිටියා. ඒ අයට විකුණන්න අම්මා කොහිල කපනවා.ඒ හින්දා සඳුදා සහ බ්‍රහස්පතින්දා දවස් වලට අපිටත් ඉපනැල්ලේ නටන්න වාසනාව ලැබුණා.
කොහිල දළු කපලා මිටි බඳින්නෙත් අම්මා. ඒ වැඩේ ඉවර වෙන්න පැයක් හමාරක් යනවා. ඒ වෙලාවට අපිත් වෙලේ නටනවා.
කොහිල කොටුවට හෙවන දෙන්නේ දිය කදුරු වැටියකින්. ඒ ගස් වලින් හෙවන විතරක් නෙවෙයි. කොහිල කොටුවට ඕනෑ කරන කාබනික පොහොරත් නොමිලේ ලැබෙනවා. ගොයම් පාගලා ඉවර උනාම ඉතුරු වෙන බොල් වී ඇටයි,වී කාටුවයි දාන්නෙත් කොහිල කොටුවටම තමා.
පොල් පිත්තකින් හදා ගන්න බැට් එකට හරියන පාට පාට බෝල ඇති පදම් තියෙනවා කදුරු වැටිය යට. ඒ කදුරු බෝල ටිකකුත් එකතු කරගෙන වෙලට පැන්නහම ඉතින් අපිටත් ක්‍රිකට් වසන්තය තමයි.
ලොකු අක්කා නම් ඒ කාලෙත් ටිකක් පිළිවෙලට ඉන්න නිසා ක්‍රිකට් ගහන්න එන්නෙ නම් නැහැ. එයා හැමදාම අම්පයර් ම තමා.වෙන අම්පයර්ලාඉන්නෙ පිට්ටනිය ඇතුලෙනෙ. මේ අම්පයර් නෝනා නම් ඉන්නෙ නියර උඩ.ඉපනැල්ලට එයාගෙ සිරිපතුල් දෙක කැපෙනවලු නෙ.
මායි පොඩි අක්කයි තමා මාරුවෙන් මාරුවට බෝලරු යි, බැට් මනු යි වෙන්නෙ. අපිම තමා බෝලෙ අහුලන්නත් දුවන්නෙ. මේ කාලෙ වගේ කම්බයින් හාවෙස්ටර් තිබුනෙ නැති නිසා ගොයම් කපන්නෙ කරලට කිට්ටුවෙන් විතරයි. ඒ නිසා ඉපනැල්ලත් උසට උසයි.
අම්මගෙ රාජකාරිය ඉවර උනාම අපි යනවා අත්තනගලු ඔයේ නාන්න. ඒ නාන තැනට කියන්නේ වැල්ල මුල්ල කියලයි. එතැනම ඔය වංගුවක් ගන්න හින්දා අපි නාන තැනට ඉස්සරහින් වක්කලමක් තිබුණා. එතැන අලියෙක්වත් පොවුවන්නෙ නැති තරම් ගැඹුරුයි කියලා අපිට ඒ පැත්ත තහනම් කලාපයක් කරලා තිබුණා. ඒ මදිවට එතැන ලංගම බස් එකකටත් වඩා ලොකු, අපේ රතු ගොන් නාම්බවත් එක කටට ගිලින්න පුළුවන් වෙන කිඹුලෙකුත් ඉන්නවලු නෙ. ඒ හින්දා අපි නාන්නේ බාල්දියකින්. අම්මා නම් ඒ වක්කලමට උඩින් පීනලා එනවා. ඒ තඩි කිඹුලා අම්ම දිහා ඇහැක් ඇරලා බලන්නෙ නැත්තෙ අපේ අම්මගෙ තියෙන වස ඌත් දන්න නිසා වෙන්නත් ඇති.
නාලා ගොඩට ආවහම සීතලයි. එහෙම හීතල දැනෙන්නේ මැදින් මාසෙ පෑවිල්ල හින්දා ඔයේ වතුර කැකෑරිලා තියෙන හින්දා වෙන්නත් ඇති.
නාලා ඉවර උන ගමන්ම අපි දුවන්නේ කුස්සියට. නෑව ගමන්ම එන හීතලට කෝපි හදාන බොන්න එහෙම නෙවෙයි. ලුණු පොල්කට්ට හොයාගෙනයි අපි දුවගෙන එන්නේ. ලුණු වතුර අල්ලක් කකුල් වල අතුල්ල ගත්තහම කැසිල්ල අන්තරස්දාන වෙනවා.
ඒ කාලෙ අපි කදුරු බෝල, පොල් පිති බැට්වලින් ක්‍රිකට් ගහනකොට ගත්ත සතුට දැන් කාලෙ ළමයින්ට ලැබෙන්නේ නැහැ. ඒ අත්දැකීම වින්දෙ නැති ළමයින් ගැන නම් දුකත් හිතෙනවා.
ඒ ළමයින්ටත් කලින් පිට්ටනි වලට දුවන්නෙ අම්මලා නෙ. ඒ අයටත් තව  තව වැඩනෙ. තමන්ගෙ ළමයා සෙල්ලම් කරලා ආපහු එනකොට ටී වී එකේ පෙන්නන කෑම බීම ජාති එහෙම හදලා  දෙන්නත් එපායැ. නැත්නම් කොහොමද එයාලා ක්‍රිකට් තරු වෙන්නෙ.

තරුණ විධායක නිළධාරියා සහ අළුත් වාහනය


තරුණ විධායක නිළධාරියා  අළුතින් වාහනයක් මිළට ගත්තා

මීට කලින් ඔහු පැදෙව්වේ සැහැල්ලු මෝටර් කාර් එකක්. මේක නම් ඊට වඩා බරසාරයි. දිග පළලත් වැඩියි. ඒ මදිවට එය පදවන්න බර වාහන රියැදුරු බලපත්‍රයත් ඕනෑ. මොහුට තියෙන්නේ සැහැල්ලු වාහන බලපත්‍රයක්. ඒ වුනත් මේ වගේ සැප වාහනයක් එලවන එකත් හීනයක්නේ. ඒ හින්දා දෙපාරක් හිතන්නේ නැතුව වාහනය මිළ දී ගත්තා.

එදා එම ආයතනයේ විධායක නිළධාරීන් කීප දෙනෙකුම මොහු අළුත් වාහනය මිළ දී ගැනීම නිමිත්තෙන් මත්පැන් සාදයක් ඉල්ලුවා.ඒ නිසා ඒ හැමෝම කතා වුනා දෙහිවල ප්‍රදේශයේ පිහිටි අවන්හලක ඒ සාදය පවත්වන්නට.
ඒ නිසා අපේ කතා නායකයාත් බොහොම ප්‍රීතියෙන් අළුත් වාහනයෙන්ම එතැනට යන්න පිටත් වුනා.

පාර දිගටම අධික වාහන තදබදයක්. කොහොම හරි එතැනට යන්නත් එපායැ.

අපේ යාලුවාත් එහෙන් මෙහෙන් වෙට්ටු දාලා විගහට යන්න බැලුවා.
කොළඹ කොටුවේ වාහන තදබද වෙලාවට අශ්වාරෝහක පොලිස් නිළධාරීන් ඉන්නවා. ඔවුනුත් වාහන තදබදය අඩු කරන්නට සෑහෙන සහායක් ලබා දෙනවා. ඒ වෙලාවේ වාහනයක් පදවන්නත් සෑහෙන සටනක් දෙන්න ඕනෑ.

කහ ඉරකදී මගීන්ට පාර මාරුවෙන්න අශ්වාරෝහක පොලිස් නිළධාරියා වාහන නවත්වන්නට කියා සංඥාවක් දුන්නා. මගීන් පාර මාරුවෙන්න කලින් අපේ යාලුවාත් අණ නොතකා වාහනය ඉස්සරහට ගත්තා.

අශ්වයා කලබල උනා. අශ්වයා මිත්‍රයාගේ වාහනයේ බඳේ හැප්පුනා.
මිත්‍රයා පැති කණ්නාඩියෙන් බැලුවා. අශ්වයාට අනතුරක් නැහැ. ඒ උනත් අනතුරක්නේ. බර වාහන බලපත්‍රයත් නැහැනේ. ඒ නිසා දන්න සෙල්ලම් ඔක්කොම දමලා වාහන අස්සෙන් රිංග රිංගා අවසානයේ සාදය පැවැත්වෙන තැනට ආවා.

වාහනයත් ලේසියට ඇහැ ගැහෙන්නේ නැති තැනක නවත්වලා යාලුවන් හිටි මේසයේ ඉඳගත්තා විතරයි.
අර පොලිස් නිළධාරියා එතෙන්ට කඩා පැනලා මොහුගේ බෙල්ලෙන්ම අල්ලා ගත්තා.

යාලුවාටත් අදහාගන්නට බැහැ. මේ තරම් ඉක්මනින් තමාව පොලීසියෙන් කොටු කර ගැනීම ගැන. අවසානයේදී පොලිස් නිළධාරියාම ඒ ගැන පැහැදිළි කරා.

අශ්වයාගේ ඇඟේ හැප්පෙනකොටම පොලිස් නිළධාරියා ඇදවැටී තියෙන්නේ කැබ් රථයේ පසු පස ඇති විවෘත කොටසට. ඔහුත් මොහු සමගින්ම ගමනාන්තයට ඇවිත්.

කියවන අයගේ සුභ සිද්ධිය තකා එතැනදී ඇති වූ දෙබස් නම් කප්පාදු කරා.

ගතවුනු සති අන්තයේ



 ඔයාලා ගෙදරට ඕනෑ කරන බඩු අරගන්නට නොයෙකුත් තැන් වලට යන්න ඇති. සුපිරි වෙළඳ සැල් වලට වගේම සති අන්තයේ පැවැත්වෙන ගමේ පොලටත් යන්න ඇති. නගරයේ පොදු වෙළඳපොලටත් යන්න ඇති.

සමහර වෙලාවට දුරකට ඇවිදින්න යන්නත් ඇති. අනුරාධපුර, කතරගම, නුවර එළිය,යාපනය වගේ පැති වලත් සංචාරය කරන්නත් ඇති.

ඒ වගේ යන ගමන් වලදී බිම ඉටි රෙද්දක් එලාගෙන, අව්වට වේලි වේලි ඉන්න මේ වගේ වයසක අම්මලා, බේසම් වල දිවුල් ගෙඩි ටිකක්, අඹ ගෙඩි ටිකක්, ගොටුකොල මල්ලක්, මල් මිටියක් පාර අයිනෙන් තියාගෙන ඉන්න පුංචි දරුවන්වත් දකින්නට ඇති.


ඔයාලා හිතන්නේ ඒ අයගේ ජීවිත නම් සරලයි, අපිට තරම් දුකක් ඒ අයට කොහින්ද කියලා නේද ?එහෙම නැහැ. එයාලටත් දුකයි.
අපිට වඩා ගොඩක් දුකයි.
ඒ අයටත් අපිට වගේම බඩගිනි දැනෙනවා. වෙහෙස දැනෙනවා. වේදනාව දැනෙනවා.

ඒත් ඒ අය අඬනවා දැකලා තියෙනවද ?
ඒ අය දන්නවා මේ ලෝකෙ කවුරුවත් එයාලගෙ කඳුළු මිළ දී ගන්නෙ නැහැ කියලා. ඒ අයගේ කඳුලකටවත් මිළක් නැහැ.

ඒ නිසා ඒ අය එයාලට පුළුවන් හැටියට මිළක් තියෙන දෙයක් විකුණන්නේ ඒ මිළක් නැති කඳුළු හංගාගෙන.

ඒ හින්දයි ඒ අම්මලා, ඒ දරුවෝ තමන්ගේ කඳුළු හංගාගෙන මේ වගේ එළවලු ටිකක්, කොළ වර්ග ටිකක්, දිවුල් ගෙඩි ටිකක්, අඹ ගෙඩි ටිකක් එහෙම පාර අයිනේ තියාගෙන ඔයාලට විකුණන්නේ.

අපේ ජීවිතයේ කිසිම දෙයක් වෙන කාගෙන්වත් තෑග්ගක් හැටියට ලැබෙන්නේ නැහැ. ඒ නිසා නොලැබෙන තෑගි ලබා ගන්න දෛවයට, කර්මයට, දෙවි දේවතා වරුන්ට භාර දෙන එක නම් අන්තිම බොරු වැඩක්.

ඒක හින්දා අපිටත් අපේ ජීවිතයෙන් ජය ගන්න නම් මේ අම්මලා ලඟ, ඒ දරුවන් ලඟ තියෙන, ඒත් අපි තවමත් පාවිච්චි කරන්නේ නැතිව අපේ ලඟම හංගගෙන තියාගෙන තියෙන ශක්තිය එළියට ගනිමු.

මුලදී ටිකක් අමාරු වෙයි. ඒත් ටික දවසකින් ඔයාලටම දැනෙයි ආත්ම ශක්තියෙන් හදවත පුරවා ගත්තහම කොයි තරම් ලේසියෙන් ජීවිතයට මුහුණ දෙන්න පුළුවන්ද කියලා.

ඉලන්දාරියෙකුගේ බදුලු ගමන 1


එක ඉලන්දාරියෙකුට කෝච්චියක බදුල්ලට ගිහිල්ලා ආපහු එන්න බරපතල උණ අමාරුවක් ආවා. ඒ උනාට තනියෙන් යන්නත් බයයි. බදුල්ලේ යාලුවෙක්වත් නැහැ. ඒ හින්දා එහෙම යන්න කොහොමටත් බයයි. ඒ කාලේ එයාගේ බාල මස්සිනාගේ කඩේ තිබුනේ ගම්පහ පැරණි හෙනරත්ගොඩ දුම්‍ රිය පොළ ළඟමයි. ඒ නිසා හැමදාම ඔය කඩේට ගොඩ වෙලා ටික වෙලාවක් කාලෙ ගත කරන්න පුරුදු උනා. කෝච්චි යන එන දිහා බලාගෙන ඉන්න කවුද අකැමැති ?

ඒ කාලේ තිබුණේ ගල් අඟුරු වලින් බල ගැන්වෙන දුම් රිය ඇන්ජින්. දුම් රියේ රියැදුරාට සහායට හිටියේ ෆයර්මන්.
ඒ ගොයියා ඇන්ජිම පිටිපස්සේ තියෙන ගල් අඟුරු බක්කියෙන් විඩින් විඩේ ඇන්ජිමට සවලකින් ගල් අඟුරු දානවා.
ප්‍රධාන දුම් රිය ස්ථාන වල මේ අඟුරු ඇන්ජින් වලට වතුර පුරවන්න උස කණුවක හයි කරපු අලි හොඬවැලක් වගේ බටයකුත් තිබුණා.

දැන් කාලේ ඇන්ජින් වගේ ඒ අඟුරු ඇන්ජිම දෙපැත්තටම යන්න බැහැ. ගමනාන්තයෙදී ඇන්ජිම අනිත් පැත්තට හරවන්නත් ඕනෑ. ඒ වැඩේට විශ්වකර්ම ගැජමැටික් එකක් තියෙනවා. ඒක උඩට ඇන්ජිම ගෙනිහිල්ලා ලොකු අඬුවක් වගේ එකකින් ආපස්සට රවුමක් කරකවනවා. අන්තිමට එල්ලගෙන එන නැරඹුම් මැදිරියත් ඒකටම දාලා කරකවලා අනිත් පැත්තට හරවනවා.
ඒ මදිවට උඩරට දුම්‍ රිය මාර්ගයේ යන දුම් රිය වලට රඹුක්කනදී තව ඇන්ජිමක් පිටිපස්සට හයි කරනවා. නැත්නම් ඔය කඳු ටික අදින්න තනි ඇන්ජිමකට හයියක් නැහැ.

දැන් කාලේ වගේ දුම් රියේ ලොකු වේගෙකුත් නැහැ. ලතාවකට තමයි ගමන. "උඩරට මැණිකෙට..පට කුඩ දෙක දෙක" කියන තාලයටම තමයි දුම් රියේ ගමනත්.

වේයන්ගොඩ, පොල්ගහවෙල, රඹුක්කන, කඩුගන්නාව වගේ දුම් රිය නැවතුම් පොලවල් වල විනාඩි පහක් දහයක් නතර කරලා තියෙනවා ම තමයි. ඒ වෙලාවට ලඟ තියෙන කඩේකට ගිහිල්ලා උවමනා දෙයක් අරගෙන ආපහු දුවලා එන්නත් පුළුවන්. පුරුදු කාරයෝ නම් අහල පහල තියෙන නිල නොලත් මත් පැන් අලෙවි කරුවන්ගෙන් පොඩි අඩියකුත් ගහලා පිටි අල්ලෙන් කට පිහ දදාත් එනවලු.

රඹුක්කනදී හයි කරන අමතර ඇන්ජිම කඩුගන්නාවෙදි නවතිනවා. ඊට පස්සේ නාවලපිටියෙදී මුලු දුම් රියේම කාර්‍ය මණ්ඩලය මාරු වෙනවා. ඊට පස්සේ අළුත් රියැදුරා, ෆයර්මන්, ගාඩ් මහත්තුරු, මට මතක හැටියට දුම් රිය භෝජනාගාරෙ සේවකයො කට්ටියත් මාරු වෙනවා.

ඒ සේවකයොත් බොහොම ගාම්භීර ආකාරෙට සුදු පාට කර පියවපු කෝට් එකක් ඇඳලා මගීන් එක්ක සුරුස් බුරුස් ගාලා ඉංගිරිසියෙක් කතා කරන හැටි එහෙම නම් මට තවමත් මතකයි.
දැන් කාලෙ වගේ දුම් රිය භෝජනාගාරෙ අතුරු සිදුරු නැතුව සෙනග පිරිලා ගමන් කරන්නේ නැහැ. නිදහසේ කෑමක් බීමක් අරගන්න, ඒවා එතැනම ඉඳන් භුක්ති විඳින්නත් අපූරුවට ඉඩ කඩ තිබුණා. යහමින් චීස් දමපු සැන්විච් පෙත්තක, ගින්දර වගේ හදාපු කිරි තේ එකක මතකය නම් මටත් තවම තියෙනවා.

ආදි කාලෙ ඉතින් ඕවත් අරුම පුදුම දේවල්නෙ. කවුරුහරි කෙනෙක් ඔය වගේ ගිය දුම් රිය ගමණක් ගැන කියද්දී කාටද ආසා හිතෙන්නේ නැත්තේ.
ඉතින් ඔය හීනය සැබෑ කර ගන්න අපේ කතා නායක ඉලන්දාරියාටත් පුදුම ඇම්මක් තිබුණා. අවසානයේදී ඒක ඉෂ්ට කරලා දුන්නේ පොඩි මස්සිනාගේ මල්ලියෙක් උන ඉස්කෝලෙ මහත්තයෙක්.

ඉස්කෝලෙ නිවාඩුවෙදී බදුලු ගමන යන්න යොදා ගත්තා. ඒකට නිදහස් ගමන් බලපත්‍රත් හදා ගත්ත හින්දා ගමන් වියදමත් අඩුයිනේ. ඒ කාලෙ ආසන කලින් වෙන් කරවන්නත් පුළුවන්. උඩරට මාර්ගයේ දුම් රියෙන් යනකොට දකුණු පැත්තෙන් අයිනක් අල්ල ගන්න තියෙනවා නම් මල් මසුරන්. බලන්න දේවල් වැඩියෙන් තියෙන්නේ දකුණු පැත්තෙයි. කඩුගන්නාවෙ කන්ද අදිනකොට පේන භූමි දර්ශණ බලන්න අදටත් කැමත්තක් තියෙන්නෙත් ඒක වෙන්න ඕනෑ. සමහර වෙලාවට වළාකුල් වලටත් උඩින් දුම් රිය යනවා.

කඩුගන්නාව කන්ද නගිනකොටම වගේ සීතල දැනෙන්න පටන් ගන්නවා. එතකොට ඉතින් සමහරු සීතලට අඳින්න ගෙනා ඇඳුම් අඳින්න පටන් ගන්නවා. තලප්පාවල් බැඳ ගන්නවා. කන් වැහින්න තොප්පි දා ගන්නවා. කොහොමටත් ඔය හරියෙදිම කන් දෙකත් අගුලු වැටෙනවා.

ඔන්න ඔය වෙලාවෙදි අර ඉස්කෝලෙ මහත්තයා භෝජනාගාරෙට ගියා. විශේෂ දුම්‍ රිය වල විතරයි පෙට්ටියෙන් පෙට්ටියට මාරු වෙන්නත් පුළුවන්. ඒ කාලෙ දුම් රිය වල පෙට්ටි අතරෙ තියෙන අන්තරයත් වැඩියි. ඒක අස්සෙන් සිල්පර කොටන් පේනකොට මර බයකුත් එනවා. ඒ හින්දා මෙහේ පෙට්ටියෙන් එහා පෙට්ටියට මාරු වෙනකොටත් පපුව ටික් ටික් ගානවා.

ඔන්න ඉතින් අර ඉස්කෝලෙ මහත්තයාටත් සීතල ඇල්ලුවා. ගල්ගමුව වගේ කාෂ්ටක පැත්තක ඉන්න අයට ඒ කාලේ සියනෑ කෝරලෙත් සීතලට දැනුනලුනේ. මෙයා ඉතින් භෝජනාගාරෙට ගිහිල්ලා අර ඉලන්දාරියාටත් දෙහි පෙත්තක් අමුණපු දෙහි බීම වීදුරුවක් ගෙනල්ලා දුන්නා.

අම්මලා ඒ කාලෙ ළමයින්ට දෙහි බොන්න දෙන්නෙත් නැහැ ඇඟේ ලේ පිච්චෙනවා කියලා. ඒ හින්දා මෙයත් වෙනසකටත් එක්ක බීලා දැම්මා. සැරට දැනුනත් බොන්න බොන්න ආසයි. ඉතින් ඇදලා දැම්මා.

බදුල්ලට යනකල් ඔය වගේ දෙහි බීම වීදුරු තුනක් විතර බිව්වා. සීතල කියන නාමයක් නැහැ. රෑ බෝ වෙනකොට කෝච්චිය බදුල්ලට ලඟා උනා.

මේ ගොල්ලන්ව පිළි ගන්න තවත් ඉස්කෝලෙ මහත්තයෙක් දුම් රිය පලට ඇවිල්ලා හිටියා. තුන් දෙනා එක්කම ඒ මහත්තයාගෙ ගෙදරටත් ගියා.

අයිස් වගේ සීතල වතුරෙන් මහ රෑම නාන්නත් උනා. අඟුරු ඇන්ජිමක් හයි කරපු කෝච්චියක ගියාම මගීනුත් බාගෙට කළු වෙනවා අඳුරු දුමාරෙට. වීදුරුවෙන් ඔලුව එළියට දාගෙන ගියොත් හීනි වැලි කැට වගේ අඟුරු කුඩු ඇස් වලටත් යනවනෙ.

නාලා ඉවර උනු ගමන්ම පොල් අරක්කු බෝතලේකුත් සබේට ආවා වල් ඌරු මස් දීසියකුත් එක්ක. කොහොම හරි අර ඉලන්දාරියටත් මේවා සීතලට අපූරුයි කිය කියා බල කර කර පෙව්වා කියන්නකො. එපාම කියද්දී අමාරුවෙන් බතුත් කන්න දුන්නා. වැල්ලවායෙන් ගෙනාව මී කිරියි, ඒ ගොල්ලන්ගෙම කිතුලකින් හදා ගත්ත කිතුල් පැණියි එහෙමත් කෑවා.

නිදියෙන්න ඇඳට වැටුනා විතරයි. අර ඉලන්දාරියාව කැරකෙන්න ගත්තා. ඉලන්දාරියා ඇඳ උඩ. ඉස්කෝලෙ මහත්තුරු දෙන්නා එතැනම බිම පැදුරක් එලාගෙන. උගුරට බ්‍රේක් නැති උනා. උදේ ඉඳන්ම බඩට වැටුන සැන්විචුයි, දෙහි බීමයි, පොල් අරක්කුයි,වල් ඌරු මසුයි, බතුයි, කිරිපැණියි වලින් ඉස්කෝලෙ මහත්තුරු දෙන්නා හොඳට නා ගත්තා.

කට්ටිය ඉතින් කාමරෙත් සුද්ද කරලා ආපහු නාලා පිරිසිදු වෙලා වෙරි බහින්න කියලා දෙහි කෑලි දෙකක් ඔළුවෙයි, යටි පතුල් වලයි උලන ගමන් කතාවක්.

"තමන්ට ඇති තරමට එපායැ බොන්න. මේ කිරි සප්පයින්ට බොන්න දෙනවද ?
අනිත් අය බොන්න කිව්වත් තමන් දැනගන්න එපායැ තමන්ගේ තරමට බොන්න"
අර ඉස්කෝලෙ මහත්තයාගෙ නෝනත් ඇවිල්ලා කියවන්න ගත්තා.

ඔලුව උස්සගන්නත් බැරි තරම් අමාරුවෙන් හිටියත් අර ඉලන්දාරියාගෙ කට නලියන්න ගත්තා.

"සීතලට දිව්‍ය ඖෂධයක් කියලා ඉස්කෝලෙ මහත්තුරු දෙන්නෙක්ම කියලා දුන්න හින්දනේ මමත් බිව්වෙ..!"

කතාව ටිකකට මුලට ගෙනියනවා.
ඒ කාලෙ දුම්‍ රිය භෝජනාගාර වල මත් පැනුත් විකුණන්න තිබුණා. අරක්කු නම් නෙවෙයි. ඩ්‍රයි ජිනුයි, බ්‍රැන්ඩියි. බැදපු කජුත් තිබුණා. විඩින් විඩේ දෙහි බීම කියලා ගෙනල්ලා බොන්න දීලා තියෙන්නෙත් ඩ්‍රයි ජින්ම තමයි.

ඒ ඉලන්දාරියත් පසු කාලෙක ගුරුවරයෙක් වෙලා දැන් විශ්‍රාමිකව ජීවිතයේ සැඳෑ සමය බොහොම සතුටින් සැහැල්ලුවෙන් ගෙවනවා. ඒ මගේ බාලම මාමා "සරත් වෙල්ගම".

සරත් මාමේ...!
මට පොඩි කාලෙ ඉඳන්ම කතා පොත් කන්දක් ගෙනල්ලා දීලා කියවීමේ ආසාව ඇති කරාටයි, ලිවීමේ හැකියාව ඇති කරාටයි ඔයාට බොහොම පින්.

( ඊයෙ රෑ අපි දෙන්නා හීං අඩියකින් සප්පායම් වෙන ගමනුයි මේ කතාව කිව්වේ.)

ඉලන්දාරියාගේ බදුලු ගමන 2


අපේ ගෙදර තියෙන්නේ ගම්පහ නගරයෙන් ටිකක් දුරින් උනත් අපේ ගමේ එක තැනකට රේල් පාර පේනවා.
එක දිගට තියෙන කුඹුරු යායක ගස් ගොන්නක් මැදින් හැදුනු කපොල්ලකින් තමයි එහෙම රේල් පාර පේන්නේ.
ඒ කපොල්ලෙන්ම කෝච්චියේ එනකොටත් අපේ ගම යාන්තමට පෙනිලා නොපෙනීලා යනවා.
රෑ වෙලා කුඹුරු වලට වතුර හරවන්න ගියාම නම් රෑට යන කෝච්චි අපූරුවට් පේනවා. පුංචි පුංචි ලයිට් එලි පෝලිමකුත් එක්ක කෝච්චිය යන්නේ රෑ බදුල්ලෙක් වගෙයි. ඒ පනුවාටත් රෑ බදුල්ලා කියලා නමක් වැටෙන්න ඇත්තෙත් ඔය රෑට යන බදුලු කෝච්චියෙ ලයිට් පට්තුවෙන අලංකාරෙට වෙන්න ඇති.

කෝච්චියෙ අන්තිම හරිය පේනකොටයි සද්දේ ඇහෙන්නේ. ගොඩක් වෙලාවට සද්දෙ ඇහිලා බලනකොට අන්තිම පෙට්ටි දෙක තුන තමයි පේන්නේ.
පහු කාලෙක ඉස්කෝලෙ යන්න කොළඹට ආවා උනත් ඒ කපොල්ලෙන් අපේ ගම දිහා බලන එක නම් හැමදාමත් කෙරුණා.

අපේ ගේ පේන්නෙ නැතුවට ගේ ඉස්සරහා තියෙන හල්මිල්ල ගහේ කරටිය නම් ඉහලින්ම පෙනුණා.
පස්සෙ කාලෙකදී පාර පළල් වෙනකොට ඒ හල්මිල්ල ගහ කපන්න සිද්ධ උනා. දැන් නම් ඒ හල්මිල්ල ගහ අපේ ලොකු අක්කාගේ ගෙදර ගරු ගාම්භීර අල්මාරියක වෙස් අරගෙන එයාගේ සකල මනා සම්පත් රැකලා දෙනවා.
ඒ කපොල්ලෙන් බලපුවාම දැන් පේන්නේ තට්ටු හතරක හෝටල් රාජයෙකුයි, වතුර ටැංකියකුයි විතරයි. ඕනෑ කමින් බැලුවොත් අක්කගෙ පුත්‍රයාගෙ අළුත් ගෙයි වහලත් යන්තමට පේනවා.

පුංචි කාලෙ ඉඳන්ම අගනුවරත් එක්ක අපි පහසුවෙන් සම්බන්ධ වුනේ දුම් රියෙන්. තාත්තා රාජකාරි කළෙත් කොළඹ හන්දා දුම් රිය අපේ පවුලේ වාහනය වගෙයි. ඒ කාලේ රජයේ සේවකයන්ට සෙනසුරාදා වරුවක් වැඩ කරන්න ඕනෑ. ඉතින් මාත් දත කට මැදගෙන ඉන්නේ සෙනසුරාදා වෙනකල්.
මුළු සෙනසුරාදා දවස පුරාවටම අළුත් අළුත් අත් දැකීම් කන්දක් ලැබෙනවනේ.

තාත්තාට දුම්රියේ පළමුවැනි පන්තියේ ගමන් කරන්න පුළුවන් වාර ප්‍රවේශ පත්‍රයක් තිබුණා. ඒ උනාට පළමු පන්තියේ මැදිරි තියෙන දුම්රිය උදේට අඩුයි. දෙවැනි පන්තියේ මැදිරි තියෙන දුම්රිය නම් කීපයක් තිබුණා. ගොඩක් වෙලාවට ඒවා හිස්.

ඒවයේ තමයි තාත්තයි, එයාගේ යාළුවෝ කට්ටියකුයි යන්නේ. එක්කෙනෙක්ගේ නම් නම මතකයි රොද්‍රිගෝ කියලා. ඒ එයාගේ පුතෙක් මගෙත් එක්ක ගම්පහ ඉස්කෝලෙයි, කොළඹ ඉස්කෝලෙයි දෙකේම හිටපු හින්දා.

තව එක්කෙනෙක් හිටියා අපූරු නමක් තියෙන. ඒ නම තමයි "කණේ මවිලා". කළු පාට පියරු මල් දෙකක් මූණ දෙපැත්තේ හයි කරා වගේ කන් පෙති පිරෙන්න මවිල් බූසියක් තිබුණා.
ඔය ඔක්කොම ටයි බැඳගෙන, බෑග් එල්ලගෙන ඉංග්‍රීසි පත්තරේ බලන සෙට් එකක්.

හිටපු ගමන්ම තලෙයිමන්නාරමේ ඉඳලා එන තැපැල් කෝච්චිය පරක්කු වෙලා එනවා. ඔය කියන කාලෙ තලෙයිමන්නාරම් ජැටියයි, කෝනේශ්වරමයි හරහා ඉන්දියාවට යන එන කාලෙ.

ඉතින් ඒකෙ තියෙන නිදන මැදිරියකට කට්ටියම නගිනවා. ඒ නිදන මැදිරිත් හරිම අපූරුයි. පුංචි කාමර වගේ කෑලි හයක් තිබුණා එක පෙට්ටියක.
ඒ එක කාමරේක ඇඳන් දෙකයි.
එකක් උඩ තියෙන්නේ. ඒකට නගින්න ඉනිමගකුත් තියෙනවා. තව පොඩි සීට් එකකුත් තියෙනවා. නාන කාමරේකුත් තියෙනවා.

ජනේලෙ අයිනේ අකුලන්න පුළුවන් මේස කෑල්ලකුත් තියෙනවා. මම නම් ඉතින් පැන්න ගමන් ජනේලෙ ලඟින් හිට ගන්නවා. ඒ වෙලාවේ අනිත් අය කරන වැඩේ දැනගත්තහම නම් ඔයාලා හැමෝටම පුදුමත් හිතෙයි. හිනහත් වෙයි.

කට්ටියම ඕමි බලනවා. නැත්නම් බූරු ගහනවා.කාගෙන් කියලා තහනමක්ද ? ඔතැන පොලීසියෙ ඉහළ නිළයක් තියෙන කෙනෙකුයි, රේගුවෙ ඉහළ නිළයක් තියෙන කෙනෙකුයිත් හිටියා.

අනේ ඒ වෙලාවට අර ගරු ගාම්භීර ඉංගිරිස් නම් නැහැ. හිටපු ගමන්ම සුද්ද සිංහල එහෙමත් නොකියවුනෙත් නැහැ.

මරදානට එනකොට නම් අර කට්ටිය ආපහු මහත්තුරු වෙනවා. මරදානෙන් බැහැලා එල්ෆින්ස්ටන් එක පැත්තට පාර පැනලා 140 ඩබල් ඩෙකර් එකක් එනකල් බලාගෙන ඉඳලා ඒකෙ උඩ තට්ටුවට නැගලා කොලොන්නාවට යනවා.

ආපහු එනකොට බුහාරි එකෙන් බුරියානි එකක් කෑමේ වාසනාවත් ලැබෙනවා. ආපහු එන්නෙ නම් නිකන්ම නිකන් පවර්සෙට් එකක තුන්වැනි පන්තියේ. එතකොට අව්ව නැති පැත්තෙන් ඉඳගන්නවා. මම නම් සීට් එකේ දණ ගහගෙන වට පිට බල බල එනවා. හාමුදුරු කෙනෙක්, දරුවෙක් වඩා ගත්ත කෙනෙක් එහෙම ආවොත් නම් වට පිට බැලිලි ඉවරයි. එතකොට ඒ කෙනාට මගේ ආසනේ පරිත්‍යාග කරවලා මාව ඔඩොක්කුවෙන් ඉන්දවා ගන්නවා.

ගම්පහින් බැහැලා එන වෙලාවටම අම්මත් ගම්පහට ඇවිල්ලා ඉන්නේ.
ඊට පස්සෙ මාව ගාමිණි ස්ටෝර්ස් එකේ ජයසේකර ලියන මහත්තයාගෙ ලඟින් ඉන්දවනවා. මාව එතැන පරිස්සමට තියලා ඒ දෙන්නා ගිහිල්ලා සුමානෙට ඕනෑ කරන එළවලු, කරවල එකෙම අරන් ආපහු එනවා.

ඊට පස්සේ ගාමිණී ස්ටෝර්ස් එකට කිරලා තියන්න කියාපු සිල්ලර බඩු ටිකත් අරගෙන රේන්ද සීයගේ පුතා කියලා අපි හඳුන්වන මාමාගෙ හිල්මන් කාරෙකෙන් ගෙදරට එනවා. ගාමිණියෙදි මට ලොකු සූකිරි කැට තුනක් හම්බවෙනවා. ඒකෙන් ලොකුම එක මම කාලා පොඩි සූකිරි කැට දෙක අක්කලා දෙන්නට දෙනවා.

පස්සෙ කාලෙක කෝච්චියෙන් පාසැල් ගිය හැටි ගැනනම් වෙනම පෝස්ටුවක් ලිව්වා නොවැ. ඊට පස්සෙත් කොයි තරම් නම් දේවල් උනාද ?

වැඩට යන්න ගත්තයින් පස්සෙ බොහොම ටික දවසක් කෝච්චියේ ආවා. ඊට පස්සෙ රෑ වැඩ මුර එහෙම කරන්න ගත්තහම මෝටර් සයිකලෙන් වැඩට ආවා ගියා.

මම ආපහු ගෙදරට එනකල් ගෙදර කට්ටිය බඩේ බිත්තර තැම්බෙන තරම් පිච්චි පිච්චී ඉන්න වග තේරුණු හින්දා රෝද දෙකෙන් රෝද හතරකටත් මාරු උනා.

ඊටත් පස්සෙ අගනුවර ආසන්නයටම පදිංචියට ආවා. කෝච්චි වල බස් වල බෝම්බ පුපුරන්න ගත්තයින් පස්සෙ ඉඳලා හිටලා කෝච්චියක බස් එකක ගියා ඇරෙන්න දිගටම යන්න අවස්තාවක් නැති වෙලාම ගියා.

පසු කාලෙක රස්සාව එහෙම එහා මෙහා උනායින් පස්සෙ එක දවසක් නානු ඔයට කෝච්චියේ යන්න ආසාවක් ආවා. ඒකට තෝරා ගත්තේ රාත්‍රී තැපැල් දුම්‍ රියයි.

ආසාවටත් එක්ක පළවැනි පන්තියේ නිදන මැදිරි ආසනේකුත් වෙන් කර ගත්තා. රෑට සීතල වැඩි උනොත් බොන්න කියලා සැර බීම බෝතලේකුත් අර ගත්තා. අර නිදන මැදිරියෙ එක කුටියකට දෙන්නෙකුට යන්න ටිකට් නිකුත් කරනවා.

ඉතින් කොළඹ කොටුවට ඇවිල්ලා හිතේ දෙගිඩියාවෙන් වෙන් කරපු ආසනේට ගියේ ගෑනු පරාණයක් හරි පොඩි එකෙක් හරි හිටියොත් මගේ හුදෙකලා ගමනේ ප්‍රීතිය විඳින්න බැරුව යන හින්දා. වාසනාවකට වගේ ඒකෙ හිටියේ මැදි වයසේ මහත්තයෙක්. එයාට හම්බවෙලා තියෙන්නේ උඩ ඇඳ.
එයා නම් බදුල්ලටම යන බව කිව්වා.

කෝච්චිය පිටත් වෙලා රාගම හරියට එනකොට ඒ මහත්තයා කෑම බාස්කට් එකක් එලියට ගත්තා. මමත් ඉතින් බෑග් එක ඇරලා අර බෝතලෙත් එළියට අරගෙන කෑමට කලින් පොඩි අඩියක් ගහමුද කියලා ඇහුවේ මනුස්සකමට.

බුදු අම්මෝ...!!
ඒ ගොය්යා දාපු සද්දෙට මට කෝච්චියෙන් එලියට පනින්න හිතුණා.

තරහටයි,ලැජ්ජාවටයි එක්ක එක හුස්මට කාලක් විතරම බීලා බෝතලේ ආපහු බෑග් එකටම දා ගත්තා.
එයාට යට ඇඳෙන් නිදා ගන්න කිව්වා.

අරගෙන ගිය සරම ඔලුවේ ඉඳන් පොරවාගෙන උඩ ඇඳට නැගලා හොඳට නිදා ගත්තා. දෙතුන් පාරක් වැසිකිළියට යන්න එහෙම පහළට බැස්සහම මිනිහා මගේ දිහා හොරෙන් හොරෙන් බලනවා වගෙත් දැක්කා. මං මොකටද ආයෙ කතා කරන්න ගිහිල්ලා සෙකන්ඩ් වෙන්නෙ. නින්ද ගියේ නැතුවත් නිදි වගේම හිටියා.

අපේ මාමා ආපහු ගියේ මගේ හිතේ හැංගිලා තිබ්බ කතා උල්පතක් මතු කරලා. ආයෙ සැරින් සැරේට ඒ කතා ටිකත් කියන්නම්.