Saturday, July 21, 2018

දිරන්න දෙමුද , ගෙවෙන්න දෙමුද



අපි බොහෝ දෙනාගේ ගෙවල් වල මහන මැෂින් තියෙනවා.
අපේ ගෙදරත් මහන මැෂින් තුනක්ම තියෙනවා.

ඉන් එකක් මම බඳින්නත් කලින් බිරිඳගේ උපන් දිනේකදී එයාට තෑගි කරපු එකක්.
තවත් එකක් පසු කාලෙකදී අපිට තෑගි ලැබුණු එකක්.

අනිත් එක නම් ගොඩක් ම පරණ එකක්.
ඒක අපේ තාත්තා අම්මව බඳින්නත් කලින් තාත්තා අම්මට තෑගි කරපු එකක්.

මුලින්ම කිව්ව මහන මැෂින් දෙක නම් පාවිච්චි නොකරම දිරලා.

ඒත් අපේ අම්මා පාවිච්චි කරපු මහන මැෂින් එක නම් පාවිච්චි කරලා වැඩි වෙලාම ගෙවිලා ගිහිල්ලා.





අති නවීන පන්නයේ නොවුනත් ඒ පරණ මැෂින් එකෙන් එම්බ්‍රොයිඩර් කරපු කොට්ට උරයක්, මේස රෙද්දක් එහෙම තවමත් අම්මාගේ අල්මාරියේ තියෙනවා.

ඒ විතරක් නෙවෙයි.
කවදාහරි මැරුණු දිනයක අන්දවන්න කියලා මීට අවුරුදු විස්සකට විතර කලින් එයාම මහගත්ත ඇඳුමකුත් ඒ අල්මාරියේම තියෙනවා.

එක දිගටම අවුරුදු ගණනාවක්ම ඇඳුම් මහපුවාම ඒ මැෂින් එකේ කොයි තරම් කොටස් ගෙවිලා ගියාද ?
ඒත් අම්මා ඒ ගැන දුක් වෙන්නේ නැතුව විඩින් විඩේ අළුත්වැඩියා කර කර ඒකෙන් එක දිගටම ඇඳුම් මැහුවා.

අපි සෑහෙන්න ලොකු මහත් වෙනකල්ම අපේ ඇඳුම් ඔක්කොම මැහුවේ ඒ මැෂින් එකේ.
ඒ හින්දා අපිටත් අපේ ඇඳුමක් මහ ගන්න තරම් දැනුමක් ලැබුණා. පොඩි රෙදි කෑල්ලක්වත් අහක දාන්නේ නැතුව ඒවයිනුත් මොනවා හරි දෙයක් මහගන්නත් පුරුදු වුණා.

ඒත් අර අති නවීන මැෂින් දෙකම අහු මුළුවල දිරනවා.
එකක් ගබඩා කාමරේ කෑලි හැලෙනවා.
අනික කබඩ් එකක් ඇතුලේ ඔහේ තියෙනවා.
කාටවත් දෙන්නත් ලෝබයි.

එහෙම දෙන්න ඇහුවොත් කියන්නේ "ඕවා ඔහොම තියෙන්න අරින්නකො. ඕවා උස්සගෙන ඉන්නවයැ" කියලයි.
ඉතින් ඒවා ඔහේ දිරනවා.

අපි ලේන්සුවේ,කොට්ට උරේ ඉඳන් හැම එකක්ම නිමි ඇඳුම් හැටියට වැඩි මිළක් දීලා අරගන්නවා. එහෙම අරගෙන ආඬපාලිත් කියනවා. අත ලොකුයි, ඉණ හිරයි, බාජ්ජුවක් වගෙයි වගේ කතා ගොඩයි.

ඒත් ජීවිතේ විශේෂම අවස්ථා වලදී අඳින ඇඳුම නම් කඩෙන් ගන්නේ නැතුව මස්සවා ගන්නවා.
ඒකනේ අපේ නෝනලා සාරිය කඩෙන් ගත්තට ජැකට් එක වැඩි ගානක් දීලා හරි මස්සවා ගන්නේ.
එහෙම මහගත්තොත් තමයි ඇඳුමේ වගේම ඇඟේ පෙනුමත් හැඩට එන්නේ.

පිරිමි අපිත් කලිසම් කමිස රෙඩි මේඩ් වලින් ඇන්දට මගුල් සූට් එක නම් ටේලර් සාප්පුවකින් මස්සවා ගන්නවනේ.

ඉතින් ඒ වගේ හැඩට අඳින්නත් ටිකක් මහන්සි වෙන්න ඕනෑ.

හිතලා බැලුවොත් අපේ ජීවිතත් ඒ වගේම තමයි.

හරියට ප්‍රයෝජනයක් ගන්නේ නැත්නම් අර මැෂින් වගේ ඔහේ ගෙවෙනවා විතරමයි.

ටිකක් වෙහෙස මහන්සි වෙලා දුක් කරදර විඳලා ජීවිතේ ගොඩ දා ගන්නකොට සමහර සුව පහසුකම් අහිමි වෙනවා තමයි.

ඒත් ආපස්සට හැරිලා බලනකොට එහෙම අහිමි වුණු දේවල් වලට වඩා වැඩි යමක් අපි ජීවිතේට එකතු කරගෙන තියෙනවා කියලා සතුටු වෙන්න පුළුවන් වෙනවා.

ඒ ගැන හිතපුවාම ලැබෙන සතුට නම් අපිම දුක් මහන්සි වෙලා නිමා කරපු එම්බ්‍රොයිඩර් ගෙත්තමක් දිහා බලලා ලබන සතුටටත් වඩා ගොඩක් වැඩියි.

ඉතින් දැනටත් අපේ ජීවිත කාලෙන් වැඩි කාලයක් ගෙවිලා ඉවරයි. කොයි වෙලේ ආපහු යන්න වෙනවද කියලා අපි කාටවත් හිතා ගන්නවත් බැහැ.

ඉතින් ඒ ඉතුරු වෙලා තියෙන ටික කාලයත් අපේ ජීවිතය ඔහේ දිරන්න ඇරලා නිකන්ම ඉම්මු ද ?

එහෙම නැත්නම් පුළුවන් තරම් වැඩ කරලා ජීවිතය ගෙවෙන්න දීලා සතුටින් ඉම්මු ද ?

තීරණය ඔබේ අතේ.




No comments:

Post a Comment