කන් බිහිරිවන අන්දමේ විශල ශබ්දයක් සමගින් සියල්ල එක් වර අඳුරු විය. මාහට පාලනය කර ගත නොහැකි වේගයකින් ඉතා දීප්තිමත් ආලෝක ධාරාවක් ඔස්සේ මා ඇදී ගියා මතකය.
අවසානයේදී මට දක්නට ලැබුණේ වසා තිබෙන අති විශාල දොරටුවකි.
එය විවර කරගැනීමට මා උත්සාහ කරන අතරේ මා පිටුපසින් ප්‍රාදුර්භූත වූ උත්තුංග දේහධාරියෙක් විසින් මාගේ ගෙලින් අල්ලා වැරෙන් තල්ලු කරන ලද්දෙන් මා අන්ධකාර දෝනාවක් දිගේ නොකඩවා වැටෙන්නට විය. එක් වරම මා පතිත වූයේ මාගේ නිවසේ ගේට්ටුව අසලටය.
නිවස තුලද, ඉන් පිටතද දැඩි කලබලයකි. මාගේ ඥාතීන්ද, මිතුරන්ද, අසල්වාසීන්ද, නොදන්නා අයද එහි රැඳී සිටිති. සාලය මැද්දේ පෙට්ටියක සතපවන ලද පුද්ගලයෙකි. ඔහුගේ මුහුණෙහි හුරු පුරුදු බවක් දැනෙයි.
ඔහු මාගේම නිවුන් සහෝදරයෙකු වැන්න.
ඒ බව වඩාත් හොඳින් පරීක්ෂා කිරීමට ඔහුගේ මුහුණට එබී බැලුවෙමි.
මාගේ දකුණු ඇහි බැමේ තිබෙන කැපුම් සලකුණද එසේමය. මාගේ රැවුල් මෝස්තරයම තබා ඇත. යුරෝපීය ඇඳුම් කට්ටලය නිසා කඩවසම් පෙනුමක් ඇත. පැහැයෙන් පැහැපත් ය. අවසානයේ මා හට සිදුව ඇති දෙය අවබෝධ වන්නට විය. මා මිය ගොසිනි.
මාගේ මෘත දේහය සාලය මැද සතපවා ඇත.
බිරින්ඳෑ කොතැන සිටිනවා ඇතිදැයි සිතීමි. එසැනින් මා නිදන කාමරයේය. ඇය ඇඳුම් අල්මාරියේ දොර හැර සුදු ඇඳුම් තෝරන්නීය. ඇගේ සහායට ඥාති සොයුරියකි. ඇය දොර ජනෙල් රෙදි කන්දක් මදිමින් සිටියි. ඒ අතරවාරයේ ඇඳුම් තේරීම පිළිබඳවද උපදෙස් නිකුත් කරන්නීය.
"ඔයා උදේ වරුවට ඔය බ්ලව්ස් එකත් එක්ක මේ ඕෆ් වයිට් ස්කර්ට් එක අඳින්න. හවසට මේ අත් දිග බ්ලව්ස් එකයි, බ්ලැක් ස්කර්ට් එකයි හොඳයි.
හෙට උදේ වරුවට අපි බෞද්ධයා එකේ බණ අහන්න යන්න තිලකවර්ධනෙන් ගත්ත ෆ්‍රොක් එක හොඳයි. හෙට හවසට නම් සාරියක් අඳින්නම එපැයි"
ඒ සමගම මා හට පර චිත්ත විජානන ඥානය වැන්නක්ද පහල විය.
බිරින්දෑ මෙසේ සිතයි.
"හත් දවස ඉවර වෙනකල් ටී.වී.එක හයි කර ගන්න බැරි වෙයි. අපරාදෙ ටෙලි නාට්‍ය ටික. මෙගා ස්ටාර් ටිකයි, හින්දි චිත්‍රපටි දෙකයි ඔක්කොම මග ඇරෙනවා."
එතැනින් නික්මී කෑම කාමරය වෙත ගියෙමි. නෑනලා කීප දෙනෙක් බර කතාවකය.
"අපේ එක්කෙනා අද කොහොම කනවද දන්නෙ නැහැ. හැමදාමත් එයාට මං ම කවන්න එපායැ. කවදාවත් කුස්සියට ඇවිල්ලා වතුර වීදුරුවක් වත් බොන්නෙ නැහැ. ඒකත් මං ම ගෙනිහින් පොවන්න ඕනෑ."
ඒ නෑනාගේ ස්වාමියා තවමත් ඉන්නේ විදේශගතවය. මේ කියන්නේ වයස විසි ගණනක් වූ ඇගේ පුත්‍රයා ගැනය.
අනෙක් නෑනා ඊට දෙවෙනි වෙන්නට කැමති නැත.
"අපේ දෝණිත් ඔය වගේම තමයි. තවම හරියකට තේ එකක්වත් හදා ගන්නට දන්නෙ නැහැ. අනේ මන්දා මෙයාව කසාද බන්දලා ගෙදර තියා ගන්නවා ඇර වෙන කරන්න දෙයක් නම් ඇත්තෙම නැහැ. නැත්නම් නැන්දම්මලාගෙන් එක එක කතන්දර අහන්න වෙයි"
දෝණියැන්දෑ ඊයේ උදේ හෝටලයක සිට ඇගේ පෙම්වතාට තේ කෝප්පයක් සාදා පොවමින් හිටි අයුරු මා හට අතේ මාට්ටු වුණු බව ඇයට මම කෑ ගසා කිව්වද මා කියන කිසිවක් ඇයට නොඇසෙනවා විය හැක.
ඇගේ දියණිය තවත් ඥාති දියණියන් කීප දෙනෙකු සමගින් හිවසට පැමිණෙන අයට නෙස්කැෆේ ඇල්ලීමේ කාර්‍යය බාරගෙනය. එලිය පැත්තේ රවුමක් ගසා පැමිණෙන ඔවුන් තොල් ආලේපන ගල්වති. කොණ්ඩය හදති.
විටින් විට නිවසට අමුත්තන් පැමිණෙති. ගේට්ටුවෙන් ඇතුළු වන විටම ඔවුන්ගේ සිනහා මුහුණු අතුරුදහන් වී බැරෑරුම් සවරූපයක් ගනියි. ඔස්කාර් සම්මාන දිය යුත්තේ මොවුන්ටය. කිසිදු තිර රචනයක් නැතිවම රඟපාති.
සාලයේ කොණක වාඩි වී සිටි බිරින්දෑ නැගිට ඔවුන්ව දෑත් එක්කර අචාර කරනු පෙනෙයි. ඔවුන්ද පෙරලා ආචාර කරන්නේ ගොළුවන් සේය. අනතුරුව ඔවුන් එම ශෝක මුහුණින්ම ගොස් මාගේ මෘත දේහය දෙස බලා සිටිති.
මා හට ලැබී ඇති විශේෂ හැකියාව නිසා ඔවුන්ගේ සිතිවිළි මට දැනෙයි.
"මූට අවුරුදු පනස් හයක් වෙලත් එක රැවුල් ගහක්, කෙස් ගහක් ඉදිලා නැහැ.මළත් මූ ඉලන්දාරි පාටට ඉන්නවා"
"මූව මැරිලා ගිය එකමයි කාරිය. මූ හැමතිස්සෙම තනියෙන්ම හිටියා ඇරෙන්න මට අරක්කු ටිකක්වත් බොන්න අඬගහලා නැහැ"
අපේ පරම්පරාවට කෙස් පැහෙන්නේ නැති ජානයක් තිබෙන බවටත්, හැම දෙනාගෙන්ම පිං අඩි බලාපොරොත්තුව ඉන්න එකාව දුටු සැනින් මම ද හිතාමතාම මූව නොදැක්කා සේ ගිය බවත් මුං දෙන්නාට කියන්න ඕනෑ නැත.
නිවසින් ටිකක් ඈතට වෙන්නට සෑහෙන පිරිසක් වාඩි වී සිටිනු පෙනෙයි.
සමහරු ඕමි ගසති. තවත් සමහරු කැරම් ක්‍රීඩාවේ යෙදෙති. ඒ සියල්ලෝම හැබෑ දක්ෂයෝය. අපේ ජාතික ක්‍රීඩාව කළ යුතුව තිබුණේ ඕමි ඇල්ලීම හෝ කැරම් ක්‍රීඩාවය.
තවත් ඈතට වෙන්නට ගසක් යට දහ පාළොස් දෙනෙක් වට වී බූරුවා ගසති. නිදහසේ බූරුවා ගැසීමට මළ ගෙවල් වල ඇති නිදහස වෙන කොතැනකවත් නැත. කෑම, බීම, තේ, බිස්කට්, සැන්විච්, මාළු පාන් ,සීනි බනිස්, කෝපි ආදිය නොකඩවා සැපයේ.විදුලි ආලෝකය මධ්‍යයේ ඔවුන් ඉතාමත් උද්‍යෝගිමත් ව ක්‍රීඩාවේ නියැලෙති.
වත්තෙන් පිටත නවතා ඇති මෝටර් රථ කීපයක් ආසන්නයේ තුන් හතර දෙනා වටවී රහසිගත මෙහෙයුම් වල යෙදෙති.
ඒවා ජංගම මත්පැන් හල් වැනිය. රාත්‍රී කෑම සූදානම් කර ඇති ස්ථානයේ සිටින පුද්ගලයෙක් විටින් විට ඔවුන් හට කටගැස්මවල් සපයනු පෙනෙයි. පපඩම්, සලාද සහ මාළු කැබලි විටින් විට එම මෝටර් රථ වෙත ඇදී යයි.
මීට අමතරව රස කතා රාශියක් ඔවුන් විසින් වමාරයි.
අතීතයේදී මත් පැන් පානය කර වාහන පදවා පොලීසියෙන් ගැලවුනු අයුරුද, මරණ ගෙවල් වලට සහභාගි වීමට බොහෝ දුර බැහැර පළාත් වලට ගිය අයුරුද වර්ණනාත්මකව කියැවෙයි.
තවත් තැනෙක පුංචි පාර්ලිමේන්තුවකි.
දවසේ මාතෘකාව ප්‍රභාකරන්ට මහත්මයා කීමය. අවස්තා ගණනාවකදීම එවන් අය බලයට පත් කරන්නට ඡන්දය පාවිච්චි කරේත් ඔවුන්ම බව අමතක වී ඇති හැඩය.
ගම්වාසී ගොවියන් කීපදෙනෙක් එක් වී තවත් කතාවකි. පැල මැක්කන්ට බෙහෙත් ගැසීමද, යූරියා හිඟයද, ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමද ඒ කතාබහ අතර වෙයි.
සිමෙන්ති සමාගමක අලෙවි නියෝජිතයන් කීපදෙනෙකු සහ අලෙවි කළමණාකරුවන් එක් වී තවත් තැනකය. මාසික අලෙවිය වැඩි කිරීම, ටාගට්, ණය අය කර ගැණීම පිළිබඳව ඔවුන් කතාවෙති.
තවත් නෑදෑයින් සමූහයක් පුටු රවුමක් හදාගෙන සතුටු සාමිචියේ යෙදෙති. ඔවුන් අවසාන වරට හමු වූයේ මීට අවුරුදු පහකට පමණ පෙර තිබූ අවමංගල්‍ය අවස්ථාවකදී බව මට නම් හොඳින් මතකය. ඔවුන් මගුලට සහ මරණයට පමණක් එන පිරිසකි. එසේ පැමිණි විට කුමක් හෝ අස් කොණක් අල්ලාගෙන නැවතත් පැත්ත පලාතේ නොපැමිණෙන ඔවුන් නැවත පැමිණෙන්නේ ඊළඟ මරණ ගෙදරට හෝ මගුල් ගෙදරට පමණකි.
කෑම සූදානම් කර ඇති ස්ථානයේ නොමැත්තේ කිරි පැණි, අයිස් ක්‍රීම් සහ වටලප්පන් පමණය. රතු සහ සුදු ඉඳි ආප්ප, පාන්, සුදු බත් සහ රතු බත්, නූඩ්ල්ස් ආදියද, සෑම කෑමකම අනිවාර්‍ය ආහාර වන බෝංචි, පරිප්පු, සලාද, අල කරිය, මිරිසට පිසූ මාළු , ගෝවා කොළ තෙල් දැමිම සහ ගොටුකොළ සම්බෝල ඒ අතර වේ. කේටරින් සමාගමේ කාන්තාවක් කෑම බෙදා ගන්නා අයට මාළු කෑල්ල බැගින් බෙදා දෙන්නේ මාළු කෑලි දෙකක් කෑවොත් ඔවුන්ට අධි පෝෂණය හැදෙන නිසා විය යුතුය.
පුත්‍රයා පෙනෙන්නට නැත. එබැවින් ඔහුගේ කාමරය තුලට ඇදී ගියෙමි. ඔහු සිය ඇඳ මත චෙක් පත් කීපයක්, මුදල් නෝට්ටු කීපයක් හා කැල්කියුලේටරයක් ලඟ තබාගෙන බරපතල කල්පනාවක නිමග්න වෙමින් සිටියි. මා පමණක් නොව පවුලේ සියළුම දෙනා මිය ගියත් බැංකුවට උදෑසන 10 ට පෙර මුදල් දමා තිබිය යුතුය. නැතිනම් අපගේ සැපයුම් කාර සමාගමේ නිළධාරීන් සවස දෙක පණින විට ඉස්තෝප්පුවේ වාඩි වී සිටිනු ඇත. ඔවුන්ගෙන් බේරී මාගේ මිණිය වැලලීමට හෝ නොහැකි බව දන්නේ අපි තුන්දෙනා සහ ගෙදර ඉන්නා බල්ලන් පමණකි.
නැවතත් සාලයට ඇදී ආවෙමි.
සාලයේ කිසිවෙකු නැත. මිනී පෙට්ටිය පාමුල අපගේ නිවසේ ඇති කරන බැල්ලියන් දෙදෙනා, බල්ලා සහ බැළලිය පමණක් ශෝකාකූලව වැතිර සිටියි.
හිස අද්දර දල්වා ඇති පොල්තෙල් පහණ මළානික ආලෝකයක් විහිදුවයි.
ආත්මානුකම්පාව ම හද දවාලයි. කළකිරීම දෙගුණ තෙගුණ වෙයි.
නැවත නොඉපදී සිටිය යුතුමය.
කන් බිහිරි කරවන අකුණක ශබ්දයක් ඇසේ. ධාරානිපාත වැස්සක හඬ අවට පැතිරී යයි. අසීරුවෙන් නෙත් හැර බලමි. මා මිය ගොස් නැත. පාන්දර යාමයේ සිහිනයක් පමණක් දැක ඇත.